Connect with us

පුවත්

ප්‍රංශ ජනපති එමානුවෙල් හා ජනපති හමුව (ඡායා)

Published

on

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.

මෑතකදී ප්‍රංශයේ පැවැත්වූ නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළුව අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපති මැක්‍රොන් මහතා මෙහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශයේ කැපවීම එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී යළිත් තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවටද ප්‍රතිඥා දුන්නේය.

දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීරඝ ලෙස සාකච්ඡා කළහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වනි සංවත්සරය නිමිති කොට ගෙන, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හඳුනා ගන්නා ලදී.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් විය.

මීට අමතරව, වත්මන් ගෝලීය සන්දර්භය තුළ කලාපීය සහ බහුපාර්ශ්වික උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳව ද නායකයින් දෙදෙනා සිය අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

2023 ජුනි 22 සිට 23 දක්වා ජනාධිපති මැක්‍රොන් විසින් පැරිස් නුවරදී සංවිධානය කළ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඉතා කාලෝචිත බව ඊට සහභාගී වුවෙකු වශයෙන් අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තිරසාර අනාගතයක් සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ එකඟතාව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

මෙම සාකච්ඡාවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, “ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත, විස්තීර්ණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි: කොළඹදී අපි එය තහවුරු කළා: අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු ” යනුවෙන් සඳහන් කර තිබුණි.

යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජොං- ෆ්‍රන්ස්වා පක්ටෙට් (Jean-Francoise Pactet), ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් වන ෆේබියන් මැන්ඩන්, වලිඩ් ෆුක් සහ ජොසු සෙරෙස්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෙනොයිට් ගයිඩි, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය කොන්සියුලර් ජෝනාස් බයාර්ඩ්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ෆ්ලොරියන් කාර්ඩිනොක්ස් යන මහත්ම මහත්මීන් ප්‍රංශ දූත පිරිසට ඇතුළත් වූහ.

පුවත්

ශ්‍රීලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.

Continue Reading

පුවත්

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

Published

on

By

සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන තිබේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 2ක් භාවිත කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරනු ලබයි.

පළමු පියවර ලෙස මෙම අයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම්දී එම සුළු මුදල සඳහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ මුදලට එකතු කර ලබාදීම සිදු කරනු ලබයි.

මෙවැනි පියවරයන් කිහිපයකදී ආයෝජකයාට ප්‍රතිලාභ ප්‍රමාණ වැඩිකරමින් ලබාදෙයි.

එහිදී මෙම පුද්ලයන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කරමින් විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට උපදෙස් ලබාදෙයි.

මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකුවල ඇති ගිණුම්වලට ය.

ඒ අනුව වැඩි මුදල් ප්‍රමාණයන් අවස්ථාවන් කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කළද ඒ සඳහා ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදීම සිදුකරයි.

මෙම ආයෝජකයන් ප්‍රතිලාභයන් ලබානොදීම සම්බන්ධයෙන් අපරාධකරුවන්ගෙන් අදාළ සමාජ ජාලා ඔස්සේ වීමසීමේදී එම අපරාධකරුවන් දන්වා සිටින්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාස්තු වැනි ගාස්තු ගෙවිය යුතු බවත් ඒ සඳහා ද අමතර මුදල් යෙදවුවහොත් ප්‍රතිලාභය ලබාදිය හැකි බවය.

ඒ අනුව තව තවත් මුදල් ප්‍රමාණ ආයෝජනය කරන ලෙසට දැනුම්දෙනු ලබයි.

දෙවැනි ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම්වලට බැර වන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත් ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලබයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ ඉහත විස්තර කරන ලද පළමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිත කරමින් වෙනත් ගිණුම්වලට සංසරණය සිදු කරන බවට විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

Continue Reading

පුවත්

රුහුණු මහා කතරගම දේවාලයේ දෙවන පෙරහර අදයි

Published

on

By

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පෙරහර අද රාත්‍රී 7.30ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය.
 
පෙරහර මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර, දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතය
 
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරී 1050ක පිරිසක් යොදවා ඇති බවය.
 
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාදී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved