Connect with us

පුවත්

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ඉන්දීය රු. මිලියන 450ක අත්කාරම් මුදලක්

Published

on

මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට  ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කරයි.

තාක්ෂණ රාජ්‍ය  අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එම්. එල්ඩෝස් මැතිව්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එම්.ඩී. ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම අධීක්ෂණ කමිටුව අද (04) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින  බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන  450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය  අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දෙනු ලැබීය.

නිසි කාල රාමුවක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසත්, සතියකට වරක් රැස්වී එහි ප්‍රගතිය සමාලෝචනය කරන ලෙසත් සාගල රත්නායක මහතා විසින් මෙහිදී  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් බව  පැවසු සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් ඉන්දීය රජය ලබා දෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved