Connect with us

පුවත්

බිම් බෝම්බ ඉවත් කරන්න ජපානයෙන් නව ආධාර

Published

on

උතුරු ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු සඳහා ජපාන රජය විසින් ස්කැවිතා මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතිය [Skavita Humanitarian Assistance and Relief Project (SHARP)]  වෙත ඇමරිකානු ඩොලර් 547,443 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 170) ක් ලබා දී ඇත. 

මේ සඳහා වන ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව 2023 අගෝස්තු මස 11 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ SHARP කඳවුරේදී ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා සහ SHARP හි අධ්‍යක්ෂ /ක්ෂේත්‍ර වාර්තාකරණ නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමති රන්ජන් බාලසූරිය මහතා අතර අත්සන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශයන් සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට ජපානයේ කැපවීම තානාපති මිසුකොෂි මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන ආරම්භයේ සිටම ජපන් රජය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අඛණ්ඩව සහය දක්වන අතර, මේ වන විට ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 43 ඉක්මවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වන ජපානයේ නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් කලාප සංවර්ධනය කිරීමයි.

මෙම මූල්‍ය වර්ෂයේ දී මෙම ව්‍යාපෘතිය මගින් කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්කවල අපවිත්‍ර වූ ඉඩම් එළි පෙහෙළි කිරීමෙන් අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් 400කට අධික ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමටත්, සෘජුව හෝ වක්‍රව පුද්ගලයන් 2,300කට අධික පිරිසකගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ප්‍රදානය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමති රන්ජන් බාලසූරිය මහතා ප්‍රකාශ කළේ;

“SHARP ආයතනය පටන් ගැන්මේ සිට, 2016 වසරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඉන් අනතුරුව 2021 දක්වා වසර 6ක් අඛණ්ඩව SHARP වෙත එකම පරිත්‍යාගශීලියා ලෙස කටයුතු කරමින් අප වෙත දැක්වූ විශ්වාසය පිළිබඳව ජපාන තානාපති කාර්යාලයට SHARP  කෘතඥ වන අතර, එය ඉතා හෘදයාංගමව අගය කරයි. 2023 ජූලි වන විට, ජපාන රජයේ ආධාර උපයෝගී කරගනිමින්, SHARP විසින් වර්ග මීටර් 2,414,199 ක්  පූර්ණ ලෙස නිදහස්  කර පුද්ගල නාශක බිම්බෝම්බ 11,471 ක්, යුධ ටැංකි නාශක බිම්බෝම්බ 168 ක්, පුපුරා නොගිය යුධෝපකරණ [unexploded ordnance (UXOs)]  4,166 ක් සහ සුළු අවි පතරොම් [small arms ammunition (SAAs) ]  19,647 ට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ඇත මේ මගින් මෙහි පදිංචි වී සිටින පවුල් 2,596 කට අධික සංඛ්‍යාවක් නැතහොත් පුද්ගලයන් 10,300 ක් සෘජුව සහ වක්‍රව ප්‍රතිලාභ ලබා ඇත. මෙය SHARP විසින් නිෂ්කාශණය කරන ලද මුළු ඉඩම් වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් වේ.”

“ලබා දී ඇති අරමුදල් සම්පූර්ණයෙන්ම යුක්ති සහගත ලෙස පරිහරණය කිරීමට සහ අපගේ අනුග්‍රාහකයින්ගේ අභිලාෂයන් සපුරාලීම සඳහා ජපාන තානාපති කාර්යාලය සහ අනෙකුත් සියළුම ආයතන සමඟ කඩිසරව, කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස පූර්ණ සහයෝගයෙන් කටයුතු කරමින් අපගේ උපරිම ශක්තියෙන් මෙහෙයුම් දිගටම කරගෙන යාමට අප බලාපොරෙතේතු වෙමු.”

“SHARP සඳහා අනුග්‍රහය දැක්වීමෙන් සහ නිරන්තර දක්වන නොමසුරු සහය වෙනුවෙන් SHARP හි සියලුම සාමාජිකයින්ගේ හෘදයාංගම කෘතඥතාව සහ ස්තුතිය, ගරු තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා වෙත සහ ජපාන තානාපති කාර්යාලයේ සියලුම GGP කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මෙන්ම ජපානයේ සියලුම ජනතාව වෙත අප පිරිනැමීමට කැමතියි. ජපාන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම්වලට සහය දැක්වීමට පෙරමුණේ  සිටින අතර, අපගේ රටේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ඔවුන්ගේ ඇති අඛණ්ඩ කැපවීම, සහයෝගය සහ සහාය ඉතා කෘතවේදීව සිහිකර සිටින්නෙමු.”

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved