Connect with us

පුවත්

කාලගුණ දෙපාර්තමේන්තුවේ රේඩාර් ව්‍යාපෘතියකින් මිලියන 78ක් පාඩු වෙලා!

Published

on

ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) පසුගියදා අනාවරණය විය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.08.10 වන දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට 2019,2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබද පරීක්ෂාව සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කැදවා තිබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

2008 වසරේ ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතියේදී මෙම රේඩාර් පද්ධතිය සදහා රු.මිලියන 402ක් වියදම් කර ඇති බවත්  ලෝක කාලවිද්‍යා සංගමය මගින් ඉන් රු.මිලියන 323ක් නැවත ලැබී ඇති බවත් මෙහිදී හෙළිවිය. 

මෙම ව්‍යාපෘතිය මෙරටට රැගෙන ඒමට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙම යන්ත්‍රය පරීක්ෂාකර බලා මෙය ක්‍රියාත්මක තත්ත්වයේ නැති බැවින් මෙරටට රැගෙන නොඑන ලෙස දැනුම්දී ඇතිබවත් හෙළිවිය.

 අදාළ ස්ථානයට මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් වසර ගණනාවක් ගතව ඇතිබවත් එහිදී මෙම උපකරණ යල්පැනගිය තත්ත්වය පත්ව ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. අනතුරුව මෙය රැගෙන යන දොඹකරය හා මාර්ගය කඩාවැටීම නිසා යම් උපකරණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ඉතිරි උපකරණ අස්ථානගතවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක්ද ක්‍රියාත්මක බවත් අනාවරණය විය.

මේ අනුව විශාල අලාභයක් ද සිදුකර සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති මෙවැනි ව්‍යාපෘති වෙනුවට නවීණ තාක්ෂණය සමග කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවැරදි අනාවැකි ඉදිරිපත්කිරීමට ඵලදායි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින්  අවධාරණය කරන ලදී.

පවතින නියං තත්ත්වය පිළිබද නිවැරදී අනාවැකි යොමු නොකිරීම පිළිබදව පවතින වාර්තා සම්බන්ධයෙන් මෙහිදී විමසීම් කළහ. මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී  වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන ඇතුළු කලාපීය රටවල් සමග පවත්වන ලද  මෝසම් කථිකාව නම් සාකච්ඡාවේදී මේ පිළිබදව දැනුම් දුන් බවයි. එහෙත් කමිටුව පෙන්වා දුන්නේ මෙම අදාල ආයතන විසින් මේ සම්බන්ධ තොරතුරු තමන් වෙත ලබා නොදුන් බව පැවසිය හැකි නිසා පනතක් මගින් නෙනතික තත්ත්වය සකසන තුරු කැබිනට් තීරණයක් මගින් හෝ  අදාළ සියලු ආයතන සමග ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි. මසක් තුළ  මේ සම්බන්ධව කෝපා කමිටුවට වාර්තා කරන ලෙසත් උපදෙස් දෙන ලදී. 

එසේම පළකළ අනාවැකිවල සාර්ථකවීමේ ප්‍රගතිය පිළිබද දත්ත තිබේදැයි විමසන ලදී. නමුත් එවැනි වැඩපිළිවෙලක් නොමැති බව හෙළිවු අතර ලොව අනෙකුත් රටවල තත්ත්වයද සලකා බලා විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකසා මසක් ඇතුළත වාර්තා කරන ලෙස උපදෙස් දුන්නේය.

වර්ෂාමාන 453ක් පිහිටුවා තිබියදී ඉන් 73ක් අක්‍රීයව පැවතීම පිළිබද අවධානය යොමු විය. එසේම 2018  වසරේදී  ස්වයංක්‍රීය වර්ෂාමාන 122 ක්  ස්ථාපිත කර තිබුණද බැටරි ක්‍රියාත්මක නොවීම වැනි කරුණු නිසා දැනට 70ක් ක්‍රියාත්මක නොවීම පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමුවිය. මෙම වර්ෂාමාන නිසි පරිදී ස්ථාපිත කොට ක්ෂණිකව දත්ත ලබා ගත හැකි වැඩපිළිවෙලක් මසක් තුළ ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

දෙපාර්තමේන්තුව සතුව විගණන නිලධාරියෙක් නොමැති බැවින් විගණන කමිටු පවත්වා නැතිබවද හෙළිවිය. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව මැන බැලීමේ කෝපා කමිටු වැඩපිළිවෙලේ අවම ලකුණු ලබාගත් ආයතනයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින බව පෙන්වා දුන් කමිටු සභාපතිවරයා ආයතනයේ  දුර්වල පරිපාලනය පිළිබද දැඩි අප්‍රසාදය පළ කළේය. එබැවින් පරිපාලන ගැටලු කඩිනමින් විසදා ගැනීමට මීට වඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම සිදුකරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට කමිටු සභාපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved