Connect with us

පුවත්

තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව අදයි

Published

on

ජපානයේ දොරටුව ලාංකිකයන්ට විවර කර දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව (16) අදයි.

යොෂිඩා මැතිණියගේ 115 වන ජන්ම සමරුව නිමිත්තෙන් අද (16) සපුගස්කන්ද යොෂිඩා පෙර පාසල හා යොෂිඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසල පවත්වන සමරු උත්සවය එම විද්‍යාලයේ පරිශ්‍රයේ පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂ හේමකුමාර ගුණසේකර මහතා පවසයි.

“ඔකාසන් අම්මා” හෙවත් තකිකෝ යොෂිඩා මැතිණිය
පරමාණු බෝම්බයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණ ජපානය යළි නැඟී සිටියේ ඒ රටේ මිනිස්සු තුළ ඇති වුණ ජාතික සංවර්ධන අභිලාෂයන් නිසයි.තමන්ගේ රට ගොඩනැගීමට ඔවුන් දිවා රෑ කැපවෙලා වැඩ කිරීම නිසා “ජපනා හපනා” කියන කතාව ලෝකෙට එකතු විය.

පසුගිය සියවසේ හත්වන දශකයේ අවසාන භාගය වන තුරු ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒ තරම් සමීප බැඳීමක්, සබඳතාවක් නොතිබුණ අතර, ජපානයට ලංකාව විවෘත වීමට ප්‍රධාන වූ චරිතයකි තකිකෝ යොෂිඩා මැතිණිය.

අනගාරික ධර්මපාලතුමා ජපානයට ගොස් එරට තිබූ කර්මාන්ත සංවර්ධනය ගැන අධ්‍යනය කර ලංකාවේ  දේශීය කර්මාන්තකරණයකට මුල පිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ වගේම ජපානයේ  ථෙරවාදී බුදු දහම ස්ථාපිත කිරීමටත් උන්වහන්සේගේ හදවතේ විශාල අදහසක්, උත්සාහයක් තිබුණත් උන්වහන්සේට අරමුණ ඉෂ්ඨ සිද්ධ කරගන්න නොහැකි වූයේ පැවති විවිධ බාධක නිසයි. ශ්‍රීමත් ධර්මපාලතුමන්ගේ ඒ අදහස ඉෂ්ඨ සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ මහාබෝධි සමාගමේ සෙවණ යටතේ හැදී වැඩුණු බානගල උපතිස්ස නායක හාමුදුරුවන් ජපානයේ  ලංකාජී විහාරය  ආරම්භ කිරීම තුළයි.

හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේ සමඟ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් එහි සාංචි විහාරයේ වාසය කරමින් විදිසා හි අධ්‍යාපනය ලැබූ සමයේ සාංචි චේතියගිරි විහාරයට පැමිණෙන ජපානයේ මහා බෞද්ධ මහෝපාසිකාව වන තකිකෝ යොෂිඩා  මැතිණියට බානගල හිමියන් හමුවන්නීය.   එහි දී අහම්බෙන් තේ කෝප්පයකින් සංග්‍රහ කිරීම සමඟ ඇරඹි මේ දෙදෙනාගේ මාතෘ පුත්‍ර සබඳතාවය ඔස්සේ අනගාරික ධර්මපාලතුමන්ගේ ථෙරවාවාදී බුදු දහම ජපානයට ගෙනයෑමේ සිහිනය සැබෑ කරමින් බානගල හිමියන් ජපානයේ  සවාරා හි ලංකාජී විහාරය ගොඩනඟා එහි ජපානයේ ප්‍රථම ථෙරවාදී චෛත්‍යය ස්ථාපිත කරන්නේ  යොෂිඩා මැතිණියගේ අප්‍රතිහත ධෛර්ය හා සහයෝගය සමඟින් ය.

ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු හමාර කර ලංකාවට ඒමට නියමිතව සිටි බානගල හාමුදුරුවන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ජපානයට යාමට අවස්ථාවක් යොෂිඩා මැතිණිය ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ යොෂිඩා මැතිනිය උන්වහන්සේට ජපානයට පැමිණීමට සියලු පහසුකම් සලසා දුන්නීය. යොෂිඩා මැතිණිය බානගල හාමුදුරුවන් ගෙන් අසා සිටියේ “ඔබ වහන්සේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නේ කුමන  විෂයන් ද” කියා.එහි දී බානගල හාමුදුරුවන් කියා ඇත්තේ “තමන් උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නේ පූර්ව ළමාවිය සංවර්ධනය හෙවත් ලදරු අධ්‍යාපනය කියන විෂය” බවය.ජපාන අධ්‍යාපනයේ දී පූර්ව ළමා විය  සංවර්ධන අධ්‍යාපනයට ලබා දෙන්නේ ඉහළම ප්‍රමුඛතාවක්.ජපානයේ  පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය  ළමා මනෝ විද්‍යානුකූලව දරුවාගේ පෞරුෂ වර්ධනය ඉලක්ක කරමින් ගොඩනැගුණු ඉතාම  සුවිශේෂ අධ්‍යාපන ක්‍රමයකි.(ජපානයේ  පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ වෙනම කථා කළ යුතුයි) එම අධ්‍යාපන කටයුතු හමාර කර ශ්‍රී ලංකාවට පැමිණෙන උන්වහන්සේ ගෙන් යොෂිඩා මැතිනිය අසා සිටින්නේ “ඔබ වහන්සේට මගෙන් ඉටුවිය  යුතු දේ කුමක් ද” කියාය.

ජපානයේ සිට සපුගස්කන්ද අබේසේකරාම විහාරයට පැමිණෙන බානගල  හාමුදුරුවෝ යොෂිඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පිහිටුවා,1979 ජූනි 26 දින සපුගස්කන්දේ  ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපාන සම්ප්‍රදායානුකූල  පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළහ.ඊට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ද ඒ සඳහා පැමිණෙන්නේද යොෂිඩා මැතිනියයි.

එකල ජපානයට ශ්‍රී ලංකාවෙන් සේවකයන් හෝ අධ්‍යාපනය සඳහා යෑම පිළිබඳ කිසිදු කතිකාවක් තිබුණේ නැත. එකල ලංකාවේ හැමෝම කතා කළේ එංගලන්තයට ඇමරිකාවට ජර්මනිය වගේ රටවල් වලට තමන්ගේ දරුවා යැවීමටයි. බානගල හාමුදුරුවන්  ප්‍රථම වරට පූර්ව ළමාවිය සංවර්ධනය අධ්‍යාපනය හැදෑරීමට මෙරට තරුණියන් විශාල ප්‍රමාණයක් ජපානයට යැවීමත් සමඟය ජපානයේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා පිළිබඳ ලංකාවේ කතාබහ ඇරඹෙන්නේ. කොටින්ම ජපානය කියන රට ශ්‍රී ලංකාවට විවෘත වන්නේ යොෂිඩා මැතිණියගේ සහ බානගල නායක හාමුදුරුවන් ගේ මේ ක්‍රියාවලිය  සමඟයි. “ජපන් ලදරු පාසල්” ලෙස රටපුරා ප්‍රචලිත වන මෙම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නිට්ටඹුව, සපුගස්කන්ද,හොරණ,නුවරඑළිය,මත්තෙගොඩ,අගලවත්ත,පොල්ගස්ඕවිට,මාලඹේ,නුවරඑළිය,මහනුවර,නෙළුව ආදී ප්‍රදේශවල ස්ථාපිත වෙන්නේ යොෂිඩා මැතිණියගේ සම්බන්ධීකරණයෙන් ජපාන දානපතියන්ගේ ඉමහත් ආධාර උපකාර මතයි.

එතැන් සිට යොෂිඩා මැතිණිය ශ්‍රී ලංකාවේ ඉතාමත්ම සමීපතම ආදරණීය සංවර්ධන සහකාරිණියක් බවට පත්වෙනවා.ඒ නිසාම ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ “ඔකාසන් අම්මා” කියාය.

එකල ලංකාවේ හතු පිපෙන්නා සේ හැම තැනම ලදරු පාසල්  තිබුණාද ඒ සඳහා වන කිසිදු නියාමනයක් හෝ ප්‍රමිතියක් පැවතියේ නැත.යොෂිඩා මැතිණියගේ  මැදිහත්වීම සමග ළමා මනෝවිද්‍යාවට අනුගත ප්‍රමිතිගත  ළදරු පාසල් මෙරට පුරා ස්ථාපිතවීම සමග කාගේත් අවධානයට ඇදී යෑම නිසා  මෙරට ලදරු පාසල් අධ්‍යාපනයට ප්‍රමිතියක්, නියාමනයක්  සකස්වීම ඇරඹෙන්නේ ය.අද වන විට මෙරට  පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය සදහා නීති රීති ද ප්‍රඥප්ති ද පනත් ද ආයතන සහ අමාත්‍යංශ පවා ස්ථාපිත වන්නේ යොෂිඩා මැතිනිය හෙවත් ජපන් අම්මා සහ බානගල උපතිස්ස නා හිමියන් විසින් මෙරට ස්ථාපනය කරන්න යෙදුන විධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන ක්‍රමය සහ පද්ධතිය නිසාය.

මේ අන්දමට ඇය මෙරට ජනතාවට සහ ළමා පරපුරට මෙන්ම ජපානයේ ථේරවාදී බුදු දහම ප්‍රචලිත කිරීමට දැක් වූ ඉමහත් ගෞරවනීය දායකත්වය නිසාම 1991 එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඇයට “ශ්‍රී ලංකා රංජන” ගෞරව නාමය පිරිනමනු ලැබීය. මෙරට එවැනි ජාතික  ගෞරව නාමයෙන් පුද ලද ප්‍රථම විදේශීය චරිතය වන්නේ යොෂිඩා මැතිනියයි.2000 සදහටම අපෙන් සමු ගන්නා  යොෂිඩා මැතිණියගේ සියවන ජන්ම සමරුව වෙනුවෙන් 2008 දී  ඇය නමින් සමරු මුද්දරයක් ද නිකුත් කළේ, විදේශිකයෙකු වෙනුවෙන් මෙරට සමරු මුද්දරයක් නිකුත් කළ ප්‍රථම කාන්තාව ලෙස යොෂිඩා මැතිණිය ඉතිහාසයට එක් කරමින් ය. එසේම  සපුගස්කන්ද – බියගම ප්‍රධාන මාර්ගය “තකිකෝ  යොෂිඩා මාවත” ලෙස ද නම් කිරීමට ද මෙරට ජනතාව කෘතවේදී විය.

1908 අගෝස්තු 16 වෙනිදා ජපානයේ කියුෂු පරපුරේ උපත ලද යොෂිඩා මැතිණිය පසුව  කීර්තිමත් ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන කිෂි යොෂිඩා මැතිතුමා සමඟ විවාහ වීමෙන් පසුව, ජපානයේ  වර්තමානය ඇති විශාලතම පෞද්ගලික රෝහලක් වන යොෂිඩා රෝහලේ කොටස්කාරිණියක් බවට පත්වන්නීය. මෙරට මහා නායක හිමිවරුන් ඇතුළු බොහෝ දෙනකුට එම රෝහලේ නොමිලේ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත් වූ ඇය ⁣මෙරට භික්ෂුන් වහන්සේලාගේ හා බෞද්ධ ජන නායකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ජපාන කාන්තා රත්නයක් විය.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved