Connect with us

පුවත්

පිරමීඩ ව්‍යාපාරයක් නෙවෙයි අපරාධයක්: දඬුවම් අපරාධ නීතිය යටතේයි

Published

on

පිරමීඩ ජාවාරම මෙහෙය වූ ආයතන හා පුද්ලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පිරමීඩ යනු කිසිසේත්ම ව්‍යාපාරයක් නොවන බවත්, එය අපරාධයක් වන බැවින් පිරමීඩ ජාවාරමේ යෙදුණු ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනත අනුව මෙම ජාවාරම තහනම් කළ බැවින් ඉන් එහාට මේ සඳහා බලපාන්නේ අපරාධ නීතිය බවයි.

ඒ අනුව නීතිපතිවරයා දැනුවත් කර මේ සම්බන්ධයෙන් වන පැමිණිලි පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර අපරාධ නීතිය යටතේ මෙම රැවටිලිකාර සමාගම්වලට සහ ඒවා මෙහෙය වූ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සමාජයේ විශාල පිරිසක් මෙම ජාවාරම්කරුවන්ට හසුවී සිටින බවත්, මහ බැංකුව විසින් කෙතරම් ප්‍රකාශ කළත් තාවකාලිකව ලැබෙන ප්‍රතිලාභ ගැන පමණක් සිතා විශ්වාසවන්ත භාවය පිලිබඳ නොසලකා කටයුතු කිරීම නිසා මෙසේ විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


LPL දිනූ මහනුවර පිලේ B – LOVEත් පිරමීඩකාරයෝ – විජේදාස

මේ අතර, එල්.පී.එල් තරගාවලිය බරපතල ගැටලු සහිත සූදු පොළක් වූ බවත්, එල්.පී.එල් ශූරතාවය දිනා ගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්‍රාහයකයා බී ලව් නැමැති ක්‍රිප්ට්සො කරන්සි ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව තහනම් සමාගමක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

අමාත්‍යවරයාගේත් අනුමැතිය රහිතව පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රධාන භූමිකාවක් කළ සූදු ඔට්ටු වෙබ් අඩවි 15ක් පිළිබඳව ද අධිකරණ ඇමතිවරයා එහිදී හෙළි කළේ තරගයේ මාතෘකා අනුග්‍රහය දුන් SKYFAIR  යනු  නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක් බව ද අනාවරණය කරමිණි.

අධිකරණ ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“එල්.පී.එල්. තරගාවලියේ දී විශේෂයෙන්ම ක්‍රිප්ටො කරන්සි ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා.

ඒ තුළ  T 20 ෆ්‍රැන්චයිස් පදනම් කරගත්ත ලීගයේ මාතෘකා අනුග්‍රහය දුන්නේ SKYFAIR කියන නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්.

අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්. ඒ තහනම් දේවල් ප්‍රවර්ධනය සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරලා තිබෙන්නේ.

අනුග්‍රාහකයින් රාශියක් නීති විරෝධී ඔට්ටු වෙබ්  අඩවි පවත්වාගෙන යන ආයතන. එවැනි ආයතන 15ක් හඳුනාගෙන තිබෙනවා.

Skyfair.News, 1xBet 1XBook, Crickets In, Kheloyar News, Babu88, SAT sport,  Wolf 777, Tiger ESCH, BA Fry Coin,, MTFE. තමයි ඒ අඩවි.

එතකොට බලන්න, මේ ආයතන සියල්ලම ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවල යෙදිලා තියන ඒවා. නැතිනම් ක්‍රිප්ටො කරන්සි ගනුදෙනු සිදුකරන ඒවා.

ජයග්‍රහණය ලබපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තිබෙන්නේ “බී ලව්” කියන ක්‍රිප්ටො කරන්සි ආයතනනය. ඒක තහනම් කරපු ආයතනයක්.

මේ ක්‍රිකට් මණ්ඩලය කරපු ක්‍රියාදාමය නීතියෙන් පිට කරපු ක්‍රියා කටයුතු හරිද වැරදිද කියලා හොයන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා. හොයාල වැඩක් නෑ… ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා.

ඒක ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන වගකීමක්.

දූෂණ විරෝධී පනතේ 108 වැනි වගන්තිය අලුතින් හඳුන්වලා තියනවා. මේ ක්‍රීඩා සම්බන්ධව අල්ලස්, තුටු පඬුරු ලබා දීම, ඒවා භාර ගැනීම, අවුරුදු හතක සිර දඬුවමකට ලක් විය යුතු, මිලියනයකට නොවැඩි දඩයකට ලක් විය යුතු වරදක් විදිහට නීතිය ඔබතුමාලා සම්මත කරලා දුන්නා. ඒක 2023 අංක 09 දරන පනත.

ඒකේ 109 වගන්තියත් මේකට අදාලයි. ඒ වගන්තිය යටතේ ක්‍රිකට් මණ්ඩලය විතරක් නොවෙයි ඕනෑම තැනැත්තෙක් පහුගි කාල සීමාව තුළ උපයා ගත්ත ධනය උපයා ගත් ආකාරය පැහැදලි කළ යුතුයි.

ඒ පැහැදිලි කිරීම ඇමතිවරයා කර ගත යුතුයි. එහෙම පැැහදිලි කිරීමක් කරගන්න බැරිනම් කලින් කී දඬුවම්වලට යටත් විය යුතු වරදක්.

ඇමතිවරයාට බලය තියනවා. ඒ බලය පාවිච්චි කරන්න. මේ යොජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා දෙන්න. සති දෙකක් ඇතුළත අපි පනත සම්පාදනය කරලා දෙනවා.”

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved