දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණ විවාහකයකු පෙරේදා (06) හදිසියේ අසනීප වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට මාරුකර යැවීමේදී මරණයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සඳුන් වාසනා නමැති තරුණයෙකි.
ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා අංක 11/6, සිරිසඟබෝ පාර, කවුඩාන දෙහිවල ලිපිනයේ පිහිටි නිවසට කඩාවැදුණු දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් මියගිය තරුණයාට අමානුෂික අන්දමින් පහර දෙමින් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.
සොරකම් සහ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් එසේ අත්අඩංගුවට ගැනීමෙන් දින තුනකට පසුව පොලිසිය මෙම තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ බව ද ඔවුහු පවසති.
මියගිය තරුණයාගේ ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියදී දුරකථන ඇමතුමක් ගෙන නිවසට කතා කළ ඔහු පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු පමණ තමන්ට වටකර පහර දුන්නේ යැයි සඳහන් කළ බවය.
මියගිය තරුණයා බන්ධනාගාරය තුළදී හදිසි ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසුව මරණයට පත්වූයේ පොලිසිය සිදුකළ අමානුශික පහරදීම් හේතුවෙන් බවත් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඥාතීහු කියති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහළොවක් සමග ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අදාළ පුද්ගලයා ඇතිවූ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 15 වැනි වාට්ටුට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි දෙහිවල පොලිසි යේ නිලධාරියෙක් පැවසූ බව “දිවයින” පුවත් පත වාර්තා කර තිබේ.
ඔහු එසේ මරණයට පත්ව ඇත්තේ බන්ධනාගාරගත කිරීමෙන් දින නවයකට පසුව බව ද අදාල නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.