Connect with us

පුවත්

ධීවරයින්ට වන හදිසි අනතුරුවලදී හදිසි ඇමතුම් සේවාවක්

Published

on

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්‌වූ අවස්ථාවේ මෙම අනුමැතිය ලබා දීම සිදු විය. මෙම රැස්වීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් සහ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පත්කරන ලද තරුණ නියෝජිතයන් සහභාගි වූහ.

නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් (IUU) ධීවර කටයුතුවලදී, දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ වරදකරුවෙකු ලෙස සලකනු ලබන්නේ බලපත්‍රලාභියා පමණි. නමුත්, බලපත්‍රලාභියා කවරේද යන්න ධීවර පනතේ අර්ථ නිරූපණය කර නොමැත. මේ හේතුවෙන් නීතිමය පියවර ගැනීමේ දී බාධා ඇතිවී තිබේ. නව සංශෝධන හරහා බෝට්ටුවේ අයිතිකරු, බෝට්ටුවේ නියමුවා, එහි කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයෙකු සහ එම බෝට්ටුවේ ගමන් කරන තැනැත්තෙකු එම වරදට වගකිවයුතු කෙනෙකු හැටියට සැලකීම ඇතුළු කරුණු පනත් කෙටුම්පතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති බව නිලධාරිහු සඳහන් කළහ. එසේම, මෙම විධිවිධාන සංශෝධනය කරන ලෙස ධීවර සංගම් ද ඉල්ලීම් කර ඇති බව ද නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2023 ජූලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත්කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලදී. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත්කිරීමට නියමිත සංශෝධන පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර අනුමැතිය ලබා දෙන ලදී.

තවද, ධීවර කටයුතුවල යෙදෙන බෝට්ටු අනතුරට පත් වන විට අනතුරට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන් නොමැති බව කාරක සභාවේ සභාපති ගරු ඩී. වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. වෙරළබඩ දිස්ත්‍රික්ක 15 ක ධීවර කාර්යාල ඇති බවත් ඒ සඳහා ධීවර පරීක්ෂකවරුන් සහ සංවර්ධන නිලධාරීන් පත් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ. එසේම, සෑම ප්‍රදේශයකම නාවික හමුදාවේ සහය ද ලබා ගන්නා බවද නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින්ට අදාළ ප්‍රදේශයේ ධීවර පරීක්ෂකවරුන්ව නොහඳුනන හැකි බැවින් ඕනෑම ප්‍රදේශයක ධීවරයින්ට හදිසි අනතුරු සිදුවුවහොත් වහාම ඇමතිය හැකි හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කරන ලදී.

මෙයට අමතරව, ධීවරයින් විසින් වෙරළාශ්‍රිතව ඉදිකරන ලද තාවකාලික ධීවර වාඩිය සඳහා අවසර ලබා දීම සම්බන්ධ කරුණු, ධීවර බෝට්ටුවල ප්‍රමිතිය, බෝට්ටුවලට ඇති රක්ෂණ සහ මිරිදිය මසුන් වගාව ඇතුළු කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.

මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන සුදත් මංජුල, කපිල අතුකෝරල, කින්ස් නෙල්සන් යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ද සහභාගී වූහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved