Connect with us

පුවත්

පොහොට්ටු ජනපති අපේක්ෂක ධම්මික

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බවට සමාජ මාධ්‍ය තුළ වාර්තා  පැතිර තිබේ.

කෙසේවුවද, මේ වාර්තා පැතිර යන්නේ ජනාධිපතිවරයා රටින් පිටව සිටියදීවීම විශේෂ සිද්ධියකි.

මේවන විට ඇමරිකාවට ගොස් සිටින ජනපතිවරයා නැවත ලංකාවට පැමිණෙන්නේ ලබන 21 වැනිදා බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

එසේම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේවන විට සිය ප්‍රචාරණ කටයුතු ද යළි ආරම්භ කර ඇති අතර, ඒ අනුව එම පක්ෂයේ ‌ප්‍රචාරක දැන්වීමක් රූපවාහිනී හා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම මේවන විට ආරම්භ කර ඇත.

ධම්මිකගේ නම ‌මෙසේ යෝජනාවීමට හේතුවී ඇත්‌තේ ‌මේවන විට දරුණු ලෙස පොහොට්ටුව විවේචනය කරනු ලබන දේශපාලන පක්ෂයට පසුගිය කාලයේදී මූල්‍ය පහසුකම් සැපයීමට ද ධම්මික පෙරේරා කටයුතු කර තිබීම නිසා බවට ද රාවයක් පැතිර තිබේ.

පෙරේරා මහතා ලංකාවේ ප්‍රධාන කැසිනෝ ව්‍යාපාරිකයකු ලෙස ද සැලැකේ.

ධම්මික පිම්බීම ජනපති අපේක්ෂක ගෝලයකුගේ බිරිඳකට

මේ දැන්වීමේ බර පැන දරණු ලබන්නේ ද ප්‍රකට ව්‍යාපාරික ධම්මික විසින් බවට ද මේවන විට රාවයක් පවතී.

ඒ අතර, ධම්මික පෙරේරා මහතාගේ පුද්ගල ප්‍රවර්ධන මාධ්‍ය කටයුතු බාරගෙන ඇත්තේ ඉදිරි ජනපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සූදානමින් සිටින තවත් ව්‍යාපාරිකයකුගේ ප්‍රධානම ගෝලයකුගේ බිරියක් විසින් බවද පැවසේ.

මොවුන් පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සහාද විශාල දායකත්වයක් දැක්වූ අයෙකි.

ඇය වත්මන් ජනපතිගේ සහෝදරයකුගේ මාධ්‍ය ආයතනයක ප්‍රධාන චරිතයක් බවද වාර්තා වේ.

දේශපාලන අනාතයෙක්

ධම්මික පෙරේරා දේශපාලනයට රැගෙන ආවේ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් වන අතර ධම්මිකව දේශපාලනයට රැගෙනඒමේදී මුලින් ඔහුට මුදල් ඇමතිකම ලබාදෙන්නටත්, පසුව අගමැති කමට යෝජනාකිරීමටත් ඉන්පසුව ඔහුව ජනාධිපති අපේක්ෂකයකු කිරීමටත් පොරොන්දුවී ඇති බවද පැවසේ.

කෙසේවුවද, දිලිත් ධම්මිකට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් මෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වීමක් ලබා ගැනීමට ද සහය දුන් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

ඉන් පසුව ඔහු මේවන විට ජනාධිපති අපෙක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ සිහින දකිමින් කටයුතු කිරීමත් සමඟ ධම්මික ‌දේශපාලන අනාතයකු බවට පත්විය.

බැසිල් – රනිල් සාකච්ඡාවක;  කලින් එන්නේ මහ මැතිවරණය

මේ අතර, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධව තීරණාත්මක කතාබහක් ඇතිවී ඇතැයි මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

මෙම සාකච්ඡාවේදී කලින් මහ මැතිවරණය තැබීම ගැනද අදහස් ඉදිරිපත්ව ඇතැයි කියැවේ.

කල්තබා මහ මැතිවරණය පැවැත්වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න ගැන දිස්ත්‍රික් මට්ටමින් කරන ලද සමීක්ෂණයක සංඛ්‍යා දත්ත ඇසුරින් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි දැනගන්නට තිබේ.

මෙහිදී වැඩිදුරටත් තත්ත්වය පැහැදිලි කර ඇති බැසිල් රාජපක්ෂ මහතා සන්ධාන ගත වී මහ මැතිවරණයට මුහුණ දුනහොත් ලැබෙන ප්‍රතිඵලයත් තනි පක්ෂ ලෙස මහ මැතිවරණයට මුහුණ දුනහොත් දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන ප්‍රතිඵලය සහ ඒ ඒ පක්ෂ ලබන මන්ත්‍රීන් ගණන ගැන සවිස්තරව කරුණු සඳහන් කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී කලින් පවත්වන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න ගැන අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් මුලින් වඩාත් වාසිදායක මැතිවරණය තැබීමට තීන්දුවක් ගෙන ඇතැයි කියැවේ.

ඒ අනුව ලබන මාර්තු මාසය වනවිට මේ ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් කැඳවීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි.

සබැඳි පුවත්

ඩයලොග් TV එකේ ගිය මුස්පේන්තු ඇඩ්එක

තවමත් ඩොලර් සෙවීමට වැඩපිළිවෙලක් නැහැ – ධම්මික පෙරේරා

ලොකුම බිස්නස් කාරයා ඇතුළු බිස්නස්කාරයෝ 32ක් පාර්ලිමේන්තුවේ

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved