Connect with us

පුවත්

ලංකාව ගොඩගන්න දකුණු කොරියාවේ සහය

Published

on

ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන කැපවීම ද පැසසුමට ලක් කළේය.

එසේම ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා අතර නිල හමුව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දී ඊයේ (18)  සිදුවිය.

මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් විය.

1978 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිහිපත් කළ නායකන් එම සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙද සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර අත්සන් තැබීමට නියමිත වෙළෙඳ ගිවිසුමට කඩිනමින් එළැඹිමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

දැනට ශ්‍රී ලංකික තරුණ තරුණියන් විශාල පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල නිරතවන අතර ඔවුන් එරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.

එසේම දකුණු කොරියාවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් නැවත සිය රටට පැමිණෙන්නේ නිපුණතාවයෙන් යුත් ශ්‍රමිකයන් ලෙස බව පෙන්වා දුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකයට එයින් මනා දායකත්වයක් ලබාගත හැකි බව ද සඳහන් කළේය.

එසේම ඩිජිටල්කරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන් අතර ඩිජිටල්කරණයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආදර්ශයන් ලබාගත හැකි බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.

නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved