Connect with us

පුවත්

හෙට ලෙඩ වෙන ලංවිම සේවකයෝ කොළඹට!

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14කට කොටස් කර විදේශීය සමාගම් වලට විකිණීමට කෙටුම්පත් සකස් කිරීම, ජනතාවට දරාගත නොහැකි ලෙස දිනෙන් දින විදුලි බිල වැඩි කිරීම සහ සේවක වැටුප් විෂමතාවය යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් හෙට (01) දින ‌විදුලි සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ විරෝධතාවයක් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලං.වි.ම. ස්ථාපනය කර වසර 54ක් පිරෙන හෙට දිනයේදී සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර, දහවල් 12ට කොළඹ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමය නිවේදනය කරයි.

මේ සඳහා දිවයින පුරා සියලු බලාගාර, කාර්යාල, වැඩබිම් සේවකයින් අතිවිශාල සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බව එම සංගමයේ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සේවකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විදුලි බල අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද, සාකච්ඡාවක් ලබා නොදීමට ඇමතිවරයා කටයුතු කර ඇති බැවින් මෙලෙස සිය බලවත් විරෝධය පළකරන බවයි.

“විකුණන්න පිඹුරුපත්”
මේ පිළිබඳව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මෙලෙස මාධ්‍ය වෙතද අදහස් පළ කර ඇත :

“ආණ්ඩුව සුදානම් වෙනවා ලංකා විදුලි බලමණ්ඩලය විදෙස් සමාගම් 14කට විකුණන්න. දැනට තොරතුරු ලැබිලා තියෙනවා… කැබිනට් එකට දාලා අනුමත කරගන්න යනවා කියලා. විදුලි බලමණ්ඩලය සතුව බෙදාහැරීමේ අන්ත තියෙනවා හතරක්. මේ හතරයි ලෙකෝ සමාගමේ සතු බෙදාහැරීම් පද්ධතියයි ඉන්දියානු ටාටා සමාගමට විකුණාන්න යනවා කියන තොරතුර අපට ලැබී තියෙනවා. සම්ප්‍රේෂණ අංශය අදාළ සමාගමට දෙන්න කටයුතු කරලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය චීන සමාගමට විකුණන්න සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා. ඉතිරි සමාගම් හය ජල විදුලි බලාගාරයි, තාප බලාගාරයි වෙන් කරලා විකුණා දැමීමට කටයුතු කරමින් තිබෙනවා. බලාගාර වෙන වෙනම දෙන්න යනවා නොවැම්බර් 01 වෙනිදා කියලා කියන්නේ ලංකා විදුලි බලමණ්ඩලය ස්ථාපිත කරලා 54 වැනි සංවත්සරය. එදිනට අපි සියලු සේවකයින්ට කොළඹට එන්න කියලා තියෙනවා. දිවයින පුරා බලාගාර කාර්යාල සියලුම සේවකයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දහවල් 12 ආරම්භ කරනවා.”

මේ අතර, විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හෙට (01) පාගමනක්ද සංවිධානය කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට්ටුවට

මේ අතර, ඊයේ දින (29) X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබුණේ යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිඳභාවය සහ සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීම මඟින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුවන බව එහි දැක්වේ.

සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහය ඇතිව පසුගිය මාස 10 පුරා මෙම පනත් කෙටුම්පත සකස් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

පුවත්

ලංගම ඩිපෝ 25ක් ගැන තීරණයක්

Published

on

By

තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට පසුගියදා (20 ) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

බිමල් රත්නායක මහතා පවසා සිටියේ, ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවය.

“එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ.

ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්.ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ.ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි.ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි”

Continue Reading

පුවත්

CCTV වලින් හසුවූ මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

Published

on

By

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන දින සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථ වාහන වැරදි හඳුනාගැනීමේ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

‍මෙම වැඩසටහන යටතේ නිසි ලෙස අයිතිය පවරා නොමැති රථවාහන 241කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, වාහනයක් විකිණීමේ දී අයිතිය පැවරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවය.

මේ අතර මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මාරක රිය අනතුරු 724ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම අනතුරුවලින් පුද්ගලයින් 764 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ වසරේ ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා කාලය තුළ බරපතළ අනතුරු 1,535ක් සිදුව ඇති අතර සුළු අනතුරු 2,699ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

රනිල්, රොනල්ඩ් ආවම අල්ලස් කොමිසමට එන්නම් කියයි!

Published

on

By

ලබන 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සිය නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා විදෙස්ගතව සිටින බැවින් මෙම 27 වැනිදායින් පසුව කොමිසමට පැමිණීමට දිනයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇත.

මීට පෙරද ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණද, අලුත් අවුරුදු සමය හේතුවෙන් ඊට සහභාගිවීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා එහිදී ලිඛිතව දැනුම්දී තිබිණි.

නැවත වරක් කොමිසම ඊයේ (21) හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ කොමිසම හමුවට පැමිණෙන ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ ඊයේ (21) පැවැති රැස්වීමකදීද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සිය නීතිඥයා විදෙස්ගතව සිටින බැවින් ඔහු මෙරටට පැමිණි පසුව කොමිසම හමුවට යන බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved