Connect with us

පුවත්

කොළඹ වරායේ යටිතල පහසුකම් වලට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක්

Published

on

දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද (08) දින නිවේදනය කරන ලදී.

තම හවුල්කරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වන, ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ආයෝජනය කරන සහ දේශීය මූල්‍ය තත්වයන්ට ගරු කරන, උසස් තත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බවත්, මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමඟ ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවත්, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ :

කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553ක මුල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම නව පර්යන්තය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරී නේතන් මහතා සමඟ එක් වූහ.

“අපගේ හවුල්කරුවන්ගේ උපායමාර්ගික තත්ත්වයන් ශක්තිමත් කරමින් සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන පුද්ගලික අංශයේ ආයෝජන මෙහෙයවීමට DFC කටයුතු කරනවා. කොළඹ වරායේ මෙම යටිතල පහසුකම් ආයෝජනයෙන් අපි ලබා දෙන්නේ එයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් මහතා ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන මාර්ගස්ථ (transit) කේන්ද්‍රස්ථානයක් වන අතර, සියලුම බහාලුම් නැව්වලින් අඩක් ශ්‍රී ලංකා ජල තීරය හරහා සංක්‍රමණය වනවා. බටහිර බහාලුම් පර්යන්තය සඳහා පුද්ගලික අංශය වෙත ණය වශයෙන් ඩොලර් මිලියන 553 ක් ලබාදීමට DFC හි කැපවීම, ස්වෛරී ණය බරට තවත් එකතුකිරීමක් නොකර ශ්‍රී ලංකාවට වැඩි සමෘද්ධියක් ඇති කරන අතරම කලාපය පුරා සිටින අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ තත්ත්වය ශක්තිමත් කරමින් රටේ නැව්ගත කිරීමේ ධාරිතාව පුළුල් කරනු ඇති.”

ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය මෙසේ සඳහන් කළාය, “කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ දිගුකාලීන සංවර්ධනය සඳහා DFC සිදු කළ ඩොලර් මිලියන 553 ක ආයෝජනය, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය මූලික කරගත් වර්ධනයට පහසුකම් සපයන අතර ආර්ථිකය යථා තත්වයට පත්වන අතරතුර තීරණාත්මක විදේශ විනිමය ආකර්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා එක්සත් ජනපදයේ දිගුකාලීන කැපවීම මේ මූල්‍යකරණයන් සංකේතවත් වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ස්ථාවර තත්වයට පත්වීම නිදහස් හා සමෘද්ධිමත් ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා අපට ඇති ඒ පොදු දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති.”

මෙම ආයෝජනය DFC ක්‍රියාත්මක වන ආකාරය වන, උපායමාර්ගික, ආර්ථික වශයෙන් යහපත් සහ පුද්ගලික අංශය විසින් මෙහෙයවන ව්‍යාපෘති සඳහා සහාය දක්වන ක්‍රමවේදය පිළිබිඹු කරයි. DFC ලෝක මට්ටමේ අනුග්‍රාහකයන් වන John Keells Holdings සහ Adani Ports & Special Economic Zones Limited (APSEZ) සමඟ කටයුතු කරයි. මෙම සමාගම් සතුව ඇති දේශීය අත්දැකීම් සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන්, දේශීය රැකියා සඳහා සහාය වීමට සහ මෙම ව්‍යාපෘතිය ඉන්දු- ශාන්තිකර කලාපය සඳහා දිගුකාලීන තිරසාර සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත.

කොළඹ වරාය ඉන්දියානු සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. අමතර ධාරිතාවක් සඳහා සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ ඉඟි කරමින් එය 2021 වසරේ සිට සියයට 90කට වඩා වැඩි උපයෝගිතා මට්ටමකින් ක්‍රියාත්මක වී තිබේ.  ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම සහ මෙම පුළුල් වන වෙළඳපොළට ඇති සමීප බව ප්‍රයෝජන ගනිමින්, ඉන්දියාව ඇතුළු බෙංගාල බොක්කෙහි වර්ධනය වන ආර්ථික සඳහා නව පර්යන්තය හරහා පහසුකම් සපයයි.

පුවත්

ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු අප්‍රේල් 24දා  ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත.

Continue Reading

පුවත්

පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

Published

on

By

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ කිසිසේත්ම භාවිත නොකළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කරමින් පැවැත්වූ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවය.

විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූවක්ද නැතිනම් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇති බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙයි.

තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඒ අනුව ක්‍රියාවලිය අතරමග වරදක් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ජනාධිපතිතුමා යන්නේත් නැහැ එහෙම. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් මේ කරපු වැඩේ පිළිබඳව මාධ්‍ය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මෙතන වරදක් වෙලා තියෙනවා ඒ ගැන පොලිසි විමර්ශන කරගෙනන යනවා. අපේ රටේ පෙරහර වගේ එවැනි අවස්ථාවකට පෙර ගමන් රථ ඉල්ලුවොත් ලබා දෙනවා. නමුත් මේක එහෙම කටයුත්තක් නෙවෙයි. 

පුද්ගලයන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා කිසිසේත්ම පොලිසියේ මෙවැනි රථවාහනන පොලිස් නිලධාරින් භාවිතා නොකළම යුතුයි. කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නීතියකුත් නැහැ.

මම දන්න හැටියට එකවර 8000ක් එනවා කියල නෙවෙයි ඉල්ලලා තිබුනේත්. සෙෂන් හතරකට ළමයි ගෙන්න ගන්නවා කියලා තමයි ඉල්ලලා තිබුණේ. ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව තමයි මුලින්ම ඉල්ලලා තිබුනේ. 

ක්‍රියාවලියේ අතරමග සිද්ධ වෙච්ච වරද පිළිබඳව විමර්ෂන වාර්තාව බලමු. අදාළ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙවැනි ආකාරයේ කටයුතු වලට ඉඩ ලබා ගන්නේ කොතනින්ද කියන එක අපි බලමු. පොලීසියෙ තියෙන නීති වලින් රිංගලා යන්නේ කොතනින්ද කියලා බලන්න ඕන”

Continue Reading

පුවත්

ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

Published

on

By

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී  බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැති,  විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය.

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැති සහ  විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22)  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාව හා  එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්  ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරත වෙයි. 

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. 

එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා  හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.  අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය  ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව  මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා  වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළේය. 

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා  සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම  නව රජයේ අරමුණ බවද   මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහ්මඩ් අල් සෙයි, එහි ආර්ථික හා වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය සයිඩ් අල් හජේරි, එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලශක්ති සහ තිරසර කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය අබ්දුල්ලා බෙලාලා, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අහමඩ් බර්හයිමා, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කලීඩ් අල් අමේරි, එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මුඅත් අල් වාරි, විදේශ කටයුතු අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය සහ අන්තර්ගතයන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මයිතා අල් මයිසෝරි යන මහත්ම මහත්මීහුද, ආසියානු සහ පැසිෆික් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved