Connect with us

පුවත්

ලංකාවට IMF ණය ලැබෙන්නේ ඉන්දු – චීන තීන්දුව මත?

Published

on

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් දෙදෙනකු වන චීනය සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමකින් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත අමෙරිකානු ඩොලර් කෝටි 290ක (බිලියන 2.9ක) ණය මුදල නිදහස් කළ නොහැකි බව මුල්‍ය අරමුදල දැනටමත් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තම රටවලින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර නිදහස් වෙළෙඳ ගිවිසුම් දෙකක් අත්සන් කළ යුතු බවට චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් චීනය සමඟ පැවති මූලික අදහස් හුවමාරුවේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර එරට සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ යුතු බව චීනය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි පැවසේ.

1998 දී ඉන්දියාව සමඟ එබඳු ගිවිසුමක් අත්සන් කර ඇති නිසා චීනයට ද සමාන අවස්ථාවක් අවශ්‍ය බව එරට මතය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවට පෙර ඉන්දීය ආයෝජන සහ සේවා සැපයුම් ව්‍යාපාර බදුවලින් නිදහස් කෙරෙන බවට පැවසෙන ‘එට්කා’ (ETCA) ගිවිසුම සම්පූර්ණ කළ යුතු බව ඉන්දියාව ද ලංකාවට දන්වා ඇතැයි එම ආරංචමාර්ග වල දැක්වේ.

මෙම ගිවිසුම් දෙක සම්පූර්ණ වනතුරු චීනය සහ ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සහභාගී නොවනු ඇතැයි දැනගන්නට තිබේ. 

කෙසේ හෝ එම දෙරට සමඟ ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වෙයි.

බොරුවක්

මේ සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉහත වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

ඔහු කියා සිටියේ “චීනයේ සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ දෙක අතර මෙන්ම අදාල මූල්‍ය ආයතන අතරද ඉතා යහපත් සන්නිවේදනයක් පවතින බවයි.

දෙරට මුදල් අමාත්‍යවරුන් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලියු කුන් මහතා පසුගියදා මාර්ගගත සාකච්ඡාවක් පැවැත්වූ බවත්, චීනය කෙරෙහි සිය ප්‍රසාදය පළකරමින් එම ක්‍රියාවලිය පිළිබඳව වික්‍රමසිංහ මහතා සුබවාදී ලෙස අදහස් දක්වා ඇතැයි මෙරට ජනාධිපති මාධ්‍ය අංශය පැවසූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ETCA වලින් වාසිය දෙරටටම!

මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයකට මගපාදන එට්කා ගිවිසුම හදිසියේ කරළියට ආ කරුණක් නොවන බවත්, එය වසර ගණනාවක් පුරාවට දෙරට අතර සාකච්ඡාවට ලක්ව පවතින්නක් බවත් තතුදත් නිල ආරංචි මාර්ග ඔස්සේ ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

2018 වසර දක්වා දෙරට අතර සාකච්ඡා වට 11ක් සිදු වූ බවත්, පවතින නිදහස් වෙළඳ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් 60% – 65%කටත් ඉන්දියාවේ අපනයනකරුවන් 5%කට ප්‍රතිලාභ හිමිවන බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවත්, දෙරට ආර්ථිකයන් වල වෙනස්කම් හා අසමමිතිකභාවයන් ඇති සේම, වෙළඳ ගිවිසුම් වලද ඇතැම් අසමමිතිකයන් පැවතිය හැකි බවත්, පවතින නිදහස් වෙළඳ ගිවිසුම ඇති කරගැනීමේදී මෙම කරුණු දැනටමත් සාධක කරගෙන ඇතිබවත්, එට්කා ගිවිසුම සම්බන්ධයෙන්ද අන්‍යෝන්‍ය වශයෙන් වඩාත් වාසිදායක ගිවිසුමක් කරා යාම සඳහා දෙපාර්ශවයට එක්ව සාකච්ඡා කිරීමට අවකාශයක් පවතින බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved