Connect with us

පුවත්

කාර්යක්ෂම හා මිත්‍රශීලී රාජ්‍ය සේවයක් සැකසීමට අනු කමිටුවක්

Published

on

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම සඳහා විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනු කමිටුවක් පත් කොට තිබේ. 

මෙම පාර්ලිමේන්තු අනු කමිටුව නීතිඥ උදයන කිරිඳිගොඩ මහතාගේ සභාපතීත්වය යටතේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජේ. සී. අලවතුවල, මොහොමඩ් මුසාමිල්, චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න සහ ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වත් සාමාජිකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය ජානක ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ අශෝක ඩයස්, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය ශමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, සහ ආංශික අධීක්ෂණ කාරකසභා සභාපතිවරයාගේ උපදේශක ආචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්ම මහත්මීහු මෙම විද්වත් කමිටුවේ සාමාජිකයන් වේ.

උක්ත අනුකමිටුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර විද්වත් අදහස් ලබා ගැනිම සඳහා පත් කරන ලද විද්වත් කමිටුව කාරක සභාව වෙත කැඳවා තිබිණි. ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම පිළිබඳ මූලික අදහස් හා යෝජනා එහිදි ඉදිරිපත් කෙරිණි.

පසුගිය කාලය තුළ විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවන ලද විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා වන යෝජනා අනු කමිටු සභාපතිවරයා විසින් විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ යෝජනාද සැලකිල්ලට ගෙන අදාළ යෝජනාවලිය මේ වසර තුළදී සකස් කොට අවසන් කිරීමටද මෙහිදී විද්වත් කමිටුව එකඟතාවය පළ කළේය.

මෙරට රාජය සේවය පිළිබඳ මහජනතාව තුළ පවතින ආකල්ප පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. අකාර්යක්ෂමතාවය, නිසි වගකීමක් නොමැති වීම, දුෂණ වංචා, ඇගයීමේ නිසි ක්‍රියාවලියක් නොමැති වීම, මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම මෙන්ම දේශපාලන මැදිහත්වීම් කෙරෙහිද මෙහිදි අවධානය යොමු විය.

ඒ අනුව විවෘතභාවය, වගකීම, කාර්යක්ෂමතාවය සහ මිත්‍රශීලීභාවය යන කරුණු 04 ඔස්සේ මෙරට රාජ්‍ය සේවය වඩාත් මහජනතාවට සමීප කිරීම සඳහා මාරගෝපදේශ යෝජනාවලිය සකස් කිරීමට කමිටුව එකඟ විය. එමෙන්ම  අදාල යෝජනා ක්‍රියාත්මක වීම නියාමනය කිරීමේ අවශ්‍යතාවයද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

මෙම රැස්වීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාද එක්ව සිටියේය.

පුවත්

අධිවේගයෙන් ඉහල ගිය ආදායම

Published

on

By

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබෙන බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කරයි.

ඔහු පැවසුවේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවය.

එම කාලය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු පවසා සිටියේය.

“මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. 

අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය ජනතාව අධිවේගි මාර්ග භාවිතා කරනු ඇති බව බලාපොරොත්තු වෙනවා. 

අධිවේගි මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබගේ වාහනයේ තිරිංග පද්ධතිය ටයර්වල තත්ත්වය වගේම ආලෝක සංඥා පද්ධතිය පරීක්ෂා කර ඇතුල්වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අධිවේගි මාර්ගවල ගමන් කිරීමේ දී වාහන අතර අවම පරතරය මීටර් 50ක්වත් තබා ගන්නා ලෙසද ආසන පටි තදකර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා. 

ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වයකදී වාහනය පාලනය කර ගත හැකි වේගයකින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.  එමෙන්ම ඔබගේ වාහනය ආපදාවකට ලක්වුවහොත් වහාම අපගේ 1969 අංකයට අමතන ලෙස ඉල්ලා සිටිනවා. පැය 24 පුරාම ඔබගේ සේවය සඳහා සැදිපැහැදී සිටිනවා.”

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර

Published

on

By

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය.

2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වේ.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.

තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Continue Reading

පුවත්

බොහෝ ප්‍රදේශවලට අද වැස්ස

Published

on

By

අද (21) දිනයේ බස්නාහිර සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved