Connect with us

පුවත්

ඉදිරියේ තියෙන ඕනෙම මැතිවරණයක් වෙනුවෙන් බිලියන 10ක් – මුදල් රාජ්‍ය ඇමති

Published

on

ඉදිරියේදී පැවැත්වෙන  ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා ‍මෙසේද පැවසීය.

මෙවර අයවැය සකස් කිරීමේ දී විශේෂයෙන් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වුණා. 2023 වර්ෂයේ අපගේ රාජ්‍ය ආදායම ඉලක්ක කළ ප්‍රමාණයට වඩා 16%ක් පමණ අඩු වුණා. ඍණාත්මක වර්ෂයක බලාපොරොත්තු වන ඉල්ලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීම සාමාන්‍යය තත්ත්වයක් වනවා. අයවැය ලේඛනය සකස් කිරීමේදී ප්‍රාථමික ගිණුම ධනව තබාගැනීම වැනි ඉලක්ක සමග ගමන් කිරීමේ දී  අප දැඩි සීමාවකට ලක්වනවා.

ඒ වගේම අයවැය හිඟය සමග කටයුතු කිරීමේ දී අදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වූ විට එම හිඟය පියවා ගැනිමට ණය ගැනීමට සිදු වුණා. නමුත් ඉදිරි වර්ෂයේ දී අපට ණය ගැනීමේ ඉඩ බොහෝ දුරට සීමා වී තිබෙනවා. මීට පෙර දේශීය ණය ගැනීමේ දී බොහෝ පහසු ක්‍රමයන් අනුගමනය කළා. නමුත් අප විසින් සම්මත කරගත් නව මහ බැංකු පනත අනුව ණය ගැනීම සීමා වී තිබෙනවා. රජයට ණය ගැනීමට හැකියාව ඇත්තේ මහ බැංකුව විසින් හදිසියේ ප්‍රකාශයට පත්කළ අවස්ථාවක දී පමණයි.

මෙවර අයවැය මැතිවරණ අයවැයක් බවට ඇතැම් අය චෝදනා කර තිබෙනවා. නමුත් දැඩි පීඩනයකට ලක්වූ සමාජයක, සියලූ ප්‍රශ්නවලට උත්තර සෙවීමට සිදුව තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සොයා බැලීම අනිවාර්යයක් වනවා.

එමෙන්ම ඉදිරියට පැමිණිය හැකි ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් අප විසින් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙනවා.
ඒ වගේම බදු ආදායම් නොමැතිව හෝ රාජ්‍ය ආදායම් නොමැතිව ඉදිරියට ගිය රටක් නැහැ. අප මේ වගකීම් භාරගන්නා අවස්ථාව වන විට බදු අනුපාතිකය බෙදී ගොස් තිබුණේ වක්‍ර බදු 80%ක් සහ ඍජු බදු 20%ක් ලෙසයි. මේ වන විට අප වක්‍ර බදු අනුපාතිය අඩුකර ඍජු  බදු අනුපාතිකය 30% සීමාව ආසන්නයට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම අයවැය හිඟය 05% ක පවත්වා ගත යුතු බවට 2003 අංක 03 දරණ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තිබෙනවා. නමුත් එය ප්‍රායෝගික නැහැ. පසුගිය වර්ෂ 20ටම සාපේක්ෂව අයවැය හිඟය 05% ඉලක්කයක පවත්වාගෙන යාමට හැකිවූයේ 2016 සහ 2017 වර්ෂවල පමණයි. එලෙස පවත්වාගෙන යාමට නම් බරපතල ලෙස වියදම් කප්පාදු කොට ආදායම් උපයාගත යුතු වනවා. බිලියන 65ක පැවති ජනතා සුබසාධන වියදම මෙම වසරේ බිලියන 209 දක්වා ඉහළ යනවා. එමෙන්ම ප්‍රායෝගික නැති නීති ප්‍රායෝගිකත්වයට ගෙන ඒමට සහ ඇතැම් නීති සංශෝධන කිරීමට ද අප කටයුතු කරනවා.  අක්‍රීය වී තිබූ බදු ආදායම් සක්‍රීය කළයුතු වනවා.

ඒ වගේම 8.3%ක පැවති රාජ්‍ය අදායමේ අනුපාතය මෙම වසර අවසානය වන විට 10.1%ක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබෙනවා. 2024 අයවැය ලේඛනය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වසර අවසානය වන විට එය 12.3% ක් දක්වා වර්ධනය කරගත හැකියි. කුමන පාර්ශවයක් බලයට පැමිණිය ද රාජ්‍ය ආදායම් වර්ධනයකින් තොරව රටක් පවත්වාගෙන යා නොහැකියි.

රාජ්‍ය අස්ථාවරත්වයත් සමඟ පැවති ඉච්ඡාභංගත්වය ඉතා කෙටිකාලයකින් නැති කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය මත දූෂණ මර්ධන පනත බලගැන්වීමට ද අප කටයුතු කරනවා.

ඒ වගේම විද්‍යුත් බදු තොරතුරු එක්රැස් කරගැනීමේ වැඩපිලිවෙළ සහ “රැමිස් 2.0” ව්‍යාපෘතිය මේ වර්ෂය අවසානය වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ඉදිරි සති කිහිපය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනවා. ලබන දෙසැම්බර් 06 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස් වී අපට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ද්වී පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කර අවසන් කරගැනීමට ද නියමිතව තිබෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved