Connect with us

පුවත්

පාරිභෝගික ද්‍රව්‍ය ගබඩාවේ මිලියන 12ක ද්‍රව්‍ය අස්ථානගත වෙලා?

Published

on

රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය සිදු කෙරිණි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගිනි අවි පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර දහයක් පමා වූ 1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම කඩිනම් කරන්න ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම සදහා 2012 වසරේ සිට කාරක සභාව මගින් නිර්දේශ කර තිබුණද එය විවිධ හේතුමත පමා වී ඇති බව හෙළිවිය. මේ වන විට ගිනි අවි 37000කට පමණ බලපත්‍ර ලබා දී ඇති බව ද නිලධාරීහු පැවසූහ. මේ වන විට සංශෝධිත පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බැවින් කඩිනමින් එම කටයුතු අවසන් කරන බව නිලධාරීහු සදහන් කළහ. බලපත්‍ර ගාස්තු සංශෝධන කළ යුතු බැවින් මෙම ප්‍රමාදය ඔස්සේ රාජ්‍ය ආදායම අහිමි වීම සිදුවන නිසා එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි. මේ අනුව මෙහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද උපදෙස් දීම සිදුවිය.  

නිසි ක්‍රමවේදයක් සකසන්න

ත්‍රිවිධ හමුදාව විසින් බාහිර පාර්ශවයන් සදහා සපයන සේවාවන් මගින් උපයන ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් බැවින්  ඒ සම්බන්ධ නිසි ක්‍රමවේදයක් සකසා වාර්තා කරන ලෙස දැනුම් දී ඇතැත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ ද අවධානය යොමු විය. බොහෝ ආදායම් සුබසාධක සංගම් වෙත යොමු වන බවත් එසේ සිදු කිරීමේදී නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් පෙන්වා දුන්නේය. එම සේවාවන් සාර්ථකව සිදුවන නමුත් ඒ සදහා පැහැදිළි ක්‍රමවේදයක් සකසන ලෙසත් කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී. එසේම මේ පිළිබඳව වඩාත් පුළුල් ලෙස සමාලෝචනය කරන ලෙස ද අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය ගැන අවධානය
ත්‍රිවිධ හමුදාවන් සදහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු විය. ත්‍රිවිධ හමුදාවන් සදහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරමින් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සැකසීමට ‍මීට පෙර නිර්දේශ ලබා දී තිබුණද එය ක්‍රියාත්මක වන්නේ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ පමණක් බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව යුධ හමුදාවේ ‍එම පද්ධතිය සැකසීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් ඒ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසත් නිලධාරීන්ට නියෝග කෙරිණි.  එසේම වියදම් කරන මුදලට සරිලන ප්‍රතිලාභයක් සොල්දාදුවන් ඇතුළු පාර්ශවයන්ට ලැබීම තහවුරු කළ යුතු බව කමිටුවේදී අවධාරණය කෙරිණි. 

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පාඨමාලාවට සහභාගීවන නිලධාරීන් 31 සදහා නවාතැන් පහසුකම් ලබා දීම වෙනුවෙන් රු. මිලියන 72ක මුදලට බදුකුලී ගිවිසුමක් මත ගෘහ ඒකක 24කින් යුත් නිවාස සංකීර්ණයක් ලබා ගැනීම සම්බන්ධවද සාකච්ඡා විය.  මෙවැනි බදු මුදලක් මත නිවාස ලබා ගැනීම වෙනුවට අලුත් ඉදිකිරීමක් සිදුකොට නවාතැන් පහසුකම් ලබා දීමේ හැකියාව පිළිබද ‍අවධානය යොමු  කරන ලෙස උපදෙස් දුන්නේය. වත්මන් ආර්ථික තත්ත්වය මත ඉදිකිරී‍ම් නවතා ඇති බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධ පියවර ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාරිභෝගික ද්‍රව්‍ය ගබඩාවේ මිලියන 12ක ද්‍රව්‍ය අස්ථානගත වෙලා?

පාරිභෝගික ද්‍රව්‍ය ගබඩාවේ රු. මිලියන 12ක ද්‍රව්‍ය අස්ථානගතවීමක් පිළිබඳව ද අවධානය යොමුවිය. මේ වන විට ඊට අදාළ සියලු දෙනාගේ වැඩ තහනම් කර ඇති බවත් ගබඩා භාරකරුගෙන් අදාළ මුදල් අය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් නිලධාරීහු පැවසූහ. 

මෙම සිදුවීම විගණකාධිපති දෙපාර්මේන්තුවේ විගණනයෙන් අනාවරණය කරගන්නා තුරු අභ්‍යන්තර විගණනයෙන් හෙළි නොවුනේ මන්දැයි මෙහිදී සාකච්ඡා විය. 
මීට අමතරව උපාය මාර්ගික සන්නිවේදන ජාල ව්‍යාපෘතිය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ආදිය පිළිබඳව ද අවධානය යොමු විය. 

පුවත්

වයඹ ආණ්ඩුකාර නසීර් නිල නිවාස3ක් අරගෙන

Published

on

By

වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ඔහුට හිමි නිල නිවාසය ⁣ඇතුළු රජයට අයත් තවත් නිල නිවාස තුනක්ම භාවිතයට ගෙන ඇති බව වාර්තා වේ.

කුරුණෑගල වැව රවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවස සමග වැව රවුමේම පිහිටා තිබෙන කුරුණෑගල නගරාධිපති නිල නිවස සහ වයඹ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් නිල නිවසක්ද මේ වනවිට ඔහු භාවිතයට ගෙන ඇති බව පැවසේ. 

මීට පෙර වයඹ පළාතේ ආණ්ඩුකාරවරයාව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ ආකාරයටම රජයේ නිල නිවාස කීපයක්ම භාවිත කළ අතර ඔහුට පෙර සිටි කිසිදු ආණ්ඩුකාරවරයකු මේ ආකාරයට ඔවුන්ට හිමි නිල නිවස හැර රජයේ වෙනත් නිල නිවාස භාවිත කර නොමැති බව ද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ආකාරයට වෙනත් නිල නිවාස භාවිතයට ගැනීම රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් මෙන්ම නීති විරෝධී කටයුත්තක් වේ.

ආණ්ඩුකාර නිල නිවස ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා ප්‍රමාණවත් ලෙස සකසා තිබියදීත් මේ ආකාරයට වෙනත් රජයේ නිවාස භාවිත කිරීම රජයේ මුදල් හා සම්පත් අවභාවිත කිරීමක් ලෙසට ද ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ලව තිබේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

ඉරාන තානාපති කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලකදී ආරවුලක පැටලෙයි

Published

on

By

ඉරාන තානාපති ආචාර්ය  ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට  රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස  පලායාමට උත්සාහ දරන මෝටර් රථයේ බොනොට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරුට දැනුම් දී ඇත.

 එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා  මීටර් 15ක්දි පමණ ඉදිරියට රිය  ධාවනය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි. වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

මුදල් හා රන්බඩු කොල්ල කන්න පවුලක්ම මරලා!

Published

on

By

බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved