Connect with us

පුවත්

නව වසරේදී පාර්ලිමේන්තුව 09දා සිට රැස්වේ

Published

on

පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා  පැවසීය.

පසුගිය දෙසැම්බර් මස 12 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

මේ අනුව 2024 ජනවාරි 09 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ‍ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදය ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

2024 ජනවාරි මස 10 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04) සදහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් 08 දින පවත්වා කල්තබන ලද විවාදය දෙවැනි දිනටත්  පැවැත්වීමට නියමිතව ඇත.

එසේම එදින සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම, සමථ මණ්ඩල (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සදහා කාලය වෙන් කර ඇත.

2024 ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් තැබීමේ යෝජනාව විවාදය ගැනීමට  නියමිතව ඇත.

2024 ජනවාරි මස 12 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කර ඇත.

මේ අනුව විදේශගත ශ්‍රමිකයන්ට සුබසාධනය සැලසීම (ගරු චමින්ද විජේසිරි මහතා), ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කල්බදු ණය පහසුකම් ආයතන දැඩි නියාමනයකට ලක්කිරීම (ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය), දේශීය සහල් වර්ගයන්හි පෝෂ්‍ය ගුණය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා), වැවිලි තේ කර්මාන්ත ක්‍රමය වෙනුවට කුඩා තේ වතු ක්‍රමයක් ස්ථාපිත කිරීම (ගරු වේලු කුමාර් මහතා) සහ පාසල් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම (ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා) යන පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ‍එදින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) සදහා කාලය වෙන් කර ඇත.

පුවත්

“ශ්‍රී ලංකා චීන මිතුදම” කෘතිය එළිදකී.

Published

on

By

“ශ්‍රී ලංකා චීන මිතුදම”  ග්‍රන්ථය එළිදැක්වීම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.

සිංහල භාෂාවෙන් ලියැවී ඇති  “ශ්‍රී ලංකා චීන මිතුදම” ග්‍රන්ථය ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ   (SLCFA )  එළි දැක්වීමකි.

මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතා මෙම උත්සවයේ ප්‍රධාන කථිකයා වශයෙන්ද සහ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චී ෂෙන්හොංග් (Qi Zhenhong) මහතා ද සහභාගි විය.

උත්සවයේ මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතා විසිනි.

ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් 1950 සැප්තැම්බර් 21 වන දින “ලංකා-චීන මිත්‍රත්ව සංගමය” ලෙස මුලින් ආරම්භ කරන ලද මෙම සංගමය, අනොන්‍ය ජාතීන් හා ජනතාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පෝෂණය කිරීමේ පුරෝගාමී සංගමයකි. සංගමයේ ප්‍රථම සභාපතිනිය වූයේ වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මව වන කුසුමා ගුණවර්ධන මැතිනියයි.

සිය පිළිගැනීමේ කතාව පවත්වමින්  ගුණතිලක මහතා විසින්  ඓතිහාසික සබඳතා, බෞද්ධ සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, සාහිත්‍ය, ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාව, චීන ආහාරපාන, එල්ටීටීඊය පරාජය කළ යුද්ධයේදී චීනයේ භූමිකාව සහ සහයෝගය, මාධ්‍ය, මුද්දර, ඡායාරූපකරණය සහ තවත් දේ ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ඇතුළත් ග්‍රන්ථයේ පොහොසත් අන්තර්ගතය හඳුන්වා දුන් අතර ග්‍රන්ථය සදහා ඉතා වටිනා ලිපි ඉදිරිපත් කළ කතුවරුන්ට කෘතඥතාව පළ කලෙය. එමෙන්ම  ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අඛණ්ඩ සහයෝගය අගය කළේය.

ගරු. කරු ජයසූරිය මහතා සිය ප්‍රධාන දේශනයේදී 1952 දී දෙරටේ නායකයන් විසින් අත්සන් කළ රබර් සහ සහල් ගිවිසුමේ වැදගත්කම අවධාරණය කරමින් එම ගිවිසුම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය තහවුරු කිරීමේ කාර්යභාරයට දායක වූ ආකාරය අවධාරණය කළේය. දෙරට අතර මිනිසුන් අතර සබඳතාවයන් පෝෂණය කිරීම සඳහා දශක හතක් පුරාවට ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ කැපවීම පිළිබඳව හෙතෙම ප්‍රශංසා කළේය.

ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය සභාපති ගුණතිලක මහතා විසින් “ශ්‍රී ලංකා චීන මිතුදම” ග්‍රන්ථයේ මුල් පිටපත් ගරු කරු ජයසූරිය සහ අතිගරු චී ෂෙන්හොංග් යන මහත්වරුන්ට නිල වශයෙන් පිළිගැන්වීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ විධායක උප සභාපති අරුණ ගුණතිලක මහතා; අනෙකුත් උප සභාපතිවරුන් වන තිලක් බොතේජු, දයා ලංකාපුර සහ ප්‍රේමදර දිසානායක යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍රී  ලංකාව සහ චීනය අතර පවතින කළ්‍යාණ මිත්‍රත්වයේ අමතක නොවන සැමරුම ලෙස මෙම අවස්ථාව සනිටුහන් කරමින් සහභාගි වූ සියලුම දෙනාට “ශ්‍රී ලංකා චීන මිතුදම” කෘතියේ පිටපතක් තිළිණ කරන ලදී.

Continue Reading

පුවත්

වැස්සත් සමග පාචනය වැඩිවෙයි

Published

on

By

වැස්සත් සමග පාචනය රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී.

වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානමක් පවතින හෙයින් වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලීමක් සිදුකරයි.

පසුගිය වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ මහ නගර සභා සීමාවේ දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 47ක් යොදවන බව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීකෂක සමන්ත කුමාර මහතා පවසයි.

බව ඔහු සඳහන් කලේ මේ වන විට දන්සැල් 200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවය.

ඒ අනුව වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරයි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

Published

on

By

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමිනි.

එහිදි අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකර ඇති නිලධාරින් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක බන්ධනාගාර නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර අද සේවයට වාර්තාකර නොමැති බව වාර්තා විය.

ඒ වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

බන්ධනාගාර නිලධාරින්ගේ සියලු නිවාඩු අවලංගුකර ඇති බැවින් සියලුදෙනා වහාම සේවයට වාර්තා කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා විසින් අද නිවේදනය කරන ලදී.

වැටුප් ඉහළ නොදැමීම, නිලධාරී හිඟය විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බන්ධනාගාර නියාමක සහ සැරයන්වරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස ලෙඩ නිවාඩු දමා ඇති බව වාර්තාවිය.

ඒ අනුව වැලිකඩ, ගාල්ල සහ මාතර යන බන්ධනාගාරවල බන්ධනාගාර නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රවිශ්ඨ වී තිබේ.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක මෙම  වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රැදවියන් බැලීමට අවස්ථාව ලබාදීම මෙන්ම රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණයට රැගෙන යාමටද බාධා එල්ල වී ඇත.

සබැඳි පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved