Connect with us

පුවත්

අන්තර්ජාලයේ ළමා ලිංගික අපයෝජන වාර්තා කරන්න නව මාර්ගගත ප්‍රවේශයක්

Published

on

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ  ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් ( Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි  මූල්‍ය අනුග්‍රාහකත්වය  Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබේ. 

මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 – 2 778911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ  www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂාව  තහවුරු කිරීම සඳහා ක්‍රියාකරීව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව  ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත්  කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

එම කමිටු වාර්තාව 2023 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර බහු පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 

ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්‍රමුඛත්වය දී ඇති බවත්, එය මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතලකම අනුව ඒවාට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. 

අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය. 

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවත්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ද,  නීතිපති සංජය රාජරත්නම්, සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂණයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved