Connect with us

පුවත්

විගමන ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවලා; දැන් වාහන ගේන්නේ කවුද?

Published

on

විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම මේවන විට අත්හිටුවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංයේ ප්‍රකාශිකාවක කියා සිටියාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනිදායින් පසුව විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවයි.

කෙසේවුවද, එම කාලයට පෙර විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාගෙන සිටි විගමනික ශ්‍රමිකයනට වාහන ගෙන්වා ගැනීම සඳහා පමණක් ණයවර කාලය දිගු කර ඇතැයි ද ඇය පැවසුවාය.

2023 බලපත්‍ර ලාභී වාහන ලියාපදිංචිය 79 යි – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

මේ අතර, අප පසුගිය කාලයේ විගමනික ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගිමින් මෝටර් රථ කීයක් මෝටර් රථ ප්‍රවාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්දැයි එහි කොමසාරිස් ජනාරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගිය වසරේ (2023) එවැනි මෝටර් රථ 79ක් පමණ ලියාපදිංචි කර ඇති බවයි.

කෙසේවුවද, පසුගිය මාස 4ක පමණ කාලය තුළ ද තවත් මෝටර් රථ 20කට ආසන්න ප්‍රමාණයක් ලියාපදංචි කර ඇති බවද ඔහු කීය.

විදසේගත ශ්‍රමිකයන් 900කට කාර් පර්මිට් දුන්නා – ඇමති මනූෂ

කෙසේවුද, ඉකුත් ඇයවැය විවාද අතරේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර දල වශයෙන් 900ක් නිකුත් කර ඇති බවයි.

අයවැය ඉදිරිපත් කර මේ වන විට මාස 4කට වැඩි කාලයක් ගතව ඇතත්ත අදාළ මෝටර් රථ තවමත් ලංකාවට ආනයනය කර නොතීබීම ගැටලු සහගත බව ව්‍යාපාරික කේෂත්‍රයේ ප්‍රවීනයෝ කියා සිටිති.

Overland කෙරුවාව 

මේ අතර, විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයනට පළමු බලය ලත් මෙරට නියෝජිතයා ලෙස පත් කෙරුණු දහම් පෙරේරා මහතාට අයත් ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම (Overland Automobiles Pvt Ltd) විසින් සාමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පලකරමින් අලෙවි කරනු ලබන මෝටර් රථ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මිරර් සොයා බැලීමක් සිදු කළ‍ේය.

මුලින්ම එම දැන්වීම් වල ඇති විදුලි මෝටර් රථයක් මිලදී ගැනීමට එහි සදහන්වන දුරකථන අංකයකින් අප විමසීමසීමක් කළ අතර දුරකථනයට පිළිතුරු දුන් කාන්තාව මුලින්ම විමසා සිටියේ වාහන ගෙන්වීමට බලපත්‍රයක් ඇත්දැයි කියාය.

ඊට පිළිතුරු වශයෙන් අප එවැනි බලපත්‍රයක් නොමැති බවත්, එවැනි බලපත්‍රයක් නොවන්නේ නම් විද්‍යුත් මෝටර් රථයක් මිලදී ගැනීමට නොහැකි දැයි විමසීය.

ඊට පිළිතුරු ලෙස කාන්තාව කියා සිටියේ එවැනි බලපත්‍රයක් නැතත් විදුලි මෝටර් රථයක් මිලදී ගත හැකි බවයි.

පසුව අප එහි වූ MG4 මෝටර් රථය කීයක් වනවාදැයි විමසා සිටියේය. පිළිතුරු ලෙස කාන්තාව කියා සිටියේ අපට MGX වර්ගයේ මෝටර් රථයක් රුපියල් මිලියන 21කට ලබාදිය හැකි බවයි.

එවිට අපි අපගේ නමටම එය ලියා පදිංචි කර ගත හැකිදැයි විමසා සිටි අතර ඊට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ එයද කළ හැකි බවයි.

එසේ කිරීමට නම් අදාළ මෝටර් රථයේ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන (CIF) වටිනාකම‍ට (Cost, Insurance, And Freight (CIF) Value) අදාළව 10% ක බදු මුදලක් මෝටර් රථ ප්‍රවාන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බව කියා සිටියාය.

ඒ අනුව අපි MGX වර්ගයේ මෝටර් රථයක CFI වටිනාකම විමසා සිටියේය. එවිට ඇය පැවසුවේ එය අ‍ැමෙරිකානු ඩොලර් 21,000ක් පමණ වනු ඇති බවයි.

එසේ නම් එහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 63 කි. එසේ නම් අදාළ ආයතනය පවසන මිලියන 21න් ලක්ෂ 63ක් අඩුවූ පසුව ඉතිරිවන 14,700,000 කට ආසන්න මුදලට සිදුවන්නේ කුමක්ද, ඒ සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වනවාද යන්න පිළිබඳව ද සැක මතුවෙයි.

වාහන ගෙන්වීමේදී අක්‍රමිකතා වෙලා – හර්ෂ

මේ අතර, විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කීය. 

ඒ මහතා එසේ කියා සිටියේ පසුගිය අප්‍රේල් 01 වැනිදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

මේ සම්බන්ධයෙන් නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුව නොමග යැවූ බව තහවුරුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු එහිදී කීය.

පුවත්

ඉන්දු – ලංකා ආරක්ෂක ප්‍රධානීන් හමුවේ (ඡායා)

Published

on

By

දිවයිනේ නිල සංචාරයකට සහභාගීව සිටින ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දුත පිරිස අද (ජුනි 05) දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. 

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මැතිතුමා ද මෙම සාකච්ඡා වලට සහභාගී විය.

දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, ආරක්‍ෂක ධාරිතාවයන් ඉහළ නැංවීම, හදිසි තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ සදහා සහය වීම  සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු විය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමග පැවති හමුව අතරතුරදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කල අතර, විශේෂයෙන් අසීරු අවස්ථාවන්හි දී ඉන්දියාව විසින් අප වෙත ලබා දුන් සහයෝගයන් වෙනුවෙන් ඉන්දීය ජනතාවට සහ රජයට සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවේදී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තුතිය පුද කරන බව ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වූ ඉන්දීය නිලධාරීන්, ඉන්දු – ශ්‍රී ලංකා සමීප මෙන්ම මිත්‍රශීලී සම්බන්ධතාවය වෙනුවෙන් තම රට කැපවී ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ අතර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව තහවුරු කිරීමට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කලහ.

දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමටත්, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ හමුදාමය ධාරිතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට කැපවී ක්‍රියා කරන බවට ද, දෙපාර්ශ්වයම මෙහිදී එකඟ විය.

(defence.lk)

Continue Reading

පුවත්

කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරන්න සූදානමක්!

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය.
වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය.  

වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපි 6 ක් යොමු කළ ද අවම වශයෙන් ලිපි ලැබුණ බවට හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ථයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත්කිරීමට අමාත්‍යවරයා පසුගියදා ගත් තීරණය අගය කරන බවත් වරාය සහ නාවික කටයුතු පිළිබඳව හසල දැනුමත් තිබූ වරාය අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉවත්වීම පිළිබඳව ද අමාත්‍යවරයා අවදානය යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතිය වරායේ එකම වෘත්තීය සමිතිය නොවන්නේ යැයි වරාය අමාත්‍ය බිමල් රත්නායක මහතා මතකයේ තබාගත යුතු බව කී සුමනරත්න මහතා ඩොලර් බිලියනයක් වැයකර ඉදිකළ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන්නේ යැයි පාලකයන්ට මතක් කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනය කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය මෙම මස 30 වැනිදා වන විට විවෘත කළ හැකි යැයි ජනාධිපති අනුර කුමාර මහතා රවටා ඇති බවත් එම පර්යන්ථය තවත් වසර එකහමාරකින්වත් විවෘත කළ නොහැකි බවත් ශ්‍යාමාල් සුමනරත්න මහතා කීය.

වරාය සේවකයන් දිවිහිමියෙන් රැකගත් නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් නියමිත පරිදි ක්‍රියාත්මක කළේ නම් ලබන සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී සුමනරත්න මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පත්කළ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි.

විජිත හේරත් මහතා වරාය ඇමතිවරයා ලෙස පත්කළ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පරිපාලනය නිලධාරීන් මාරු කිරීම සහ ටෙන්ඩර් අවලංගු කිරීම ආදි පර්යන්තයේ ඉදිකිරීම් අඩපණ කිරීමට කළ කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්ථය කටයුතු ආරම්භ කිරීමට තවත් වසර කීපයක් ගතවනු ඇති බවත් එසේ වුවහොත් නැව් සමාගම් කොළඹ වරාය අතහැර දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

නැගෙනහිර බහලුම් පර්යන්ථයේ බහලුම් ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යෙන් තිබිය යුතු උපකරණ වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ මිලදීගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව අවලංගු කළ ද මේ දක්වා එම ටෙන්ඩරය කැඳවීමට හෝ කටයුතු කර නොමැති බව කී සුමනරත්න මහතා එම උපකරණය හිටිහැටිය ඇනවුම්කළ නොහැකි එකක් වීම නිසා එය ලබාගැනීමට අවම වශයෙන් දින 200 ක් ගතවනු ඇති බවත්ය.

නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය, ප්‍රවාහන උපාංග, පුහුණු සේවකයන් බඳවා ගැනීම ඇතුළු බොහෝ දේ ඉටුකර නොමැති අතර කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනස් කළේ යැයි කියන එම පර්යන්ථයේ මාර්ගයේ කටයුතු වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුවක නිර්දේශයක් මත මේ වන විට නැවතී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව රජය බලයට ගෙන ඒමට ආණ්ඩුවට සහය දැක්වූ වෘත්තීය සමිතිය වරාය සේවකයන්ට බලාපොරොත්තු රැසක් දුන්න ද එම එකම පොරොන්දුවක් හෝ ඉටුකිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බවත් වරාය අධිකාරියේ පරිපාලනයට එරෙහිව හඩනඟන වෘත්තිය සමිති නායකයන් විවිධ ක්‍රමවලින් මර්ධනය කිරීමට සූදානම් වුවද ඒවා සාර්ථක නොවන බවත් ඒ මහතා කීය.

ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංකා, නිදහස් සේවක සංගමයේ සභාපති ඉන්දික සමරවික්‍රම සහ එක්සත් සේවක සංගමයේ සභාපති ඩික්සන් ගෝමස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

කඩවත-මිරීගම අධිවේගයේ වැඩ අගෝස්තුවේ සිට

Published

on

By

දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇකැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පව සා සිටියේ මේ වන විටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවයි. 

මේ අතර, චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවෙක් විසින් නුදුරු අනාගතයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved