Connect with us

පුවත්

මත්පැන් යැයි සිතා බිව් දියරයෙන් තවත් ධීවරයෙක් මරුට!

Published

on

මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ඒ අනුව මේවන විට මියගොස් ඇති ධීවරයින් ගණන 5කි.

තංගල්ල ධීවර වරායෙන් ඩෙවොන් 5 නමැති බහුදින ධීවර යාත්‍රාව ඉකුත් 6 වැනිදා ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා පිටත් වී තිබුණේ ධීවරයන් 6 දෙනෙකුද සමගිනි.

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක් ඔවුන්ට හමුවී ඇති අතර එහි තිබූ දියරය මත්පැන් වර්ගයක් යැයි සිතා මෙම ධීවරයින් විසින් පානය කර ඇති බව වාර්තා විය.

අදාළ දියරය පානය කිරීමෙන් පසු එය විෂ වී යාත්‍රාවේ සිටි ධීවරයින් දැඩි ලෙස රෝගාතුරව තිබුණි.

මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ බව සඳහන් ය.

ඒ අතරවාරයේ එහි සිටි ධීවරයෙක් ඒ අසල වූ තවත් ධීවර යාත්‍රාවකට රේඩියෝ පණිවිඩයක් ලබාදී තත්ත්වය පිළිබඳව පවසා තිබූ අතර ඒ අනුව එම යාත්‍රාවේ ස්කිපර්වරයා විසින් ඒ පිළිබඳව ගොඩබිම ඇති පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය දැනුවත් කර තිබුණි.

ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණය මධ්‍යස්ථානයට සිදුකළ දැනුම් දීමට අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නාවික හමුදාවට අයත් ”විජයබාහු නෞකාව” ඊයේ පස්වරුවේදීම ආපදාවට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයට පිටත් කර යැවීය.

එමෙන්ම නාවික හමුදා වෛද්‍යවරයෙක් මගින් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ යාත්‍රාව හා සම්බන්ධ වෙමින් ආසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ධීවරයින් වෙත වෛද්‍ය උපදෙස්ද ලබාදී තිබේ.

කෙසේවෙතත් නාවික හමුදාව පවසන්නේ ඊයේ රාත්‍රීය වනවිටත් ඩෙවොන් 5 යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාගෙන් සිව්දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි.

මියගිය අය අතර යාත්‍රාවේ ස්කිපර්වරයා වන නයන කාන්ත, පැතුම් දිල්ශාන් සහ ප්‍රදීප් නිශාන්ත අය සිටින බව වාර්තා වෙයි.

එවන් පසුබිමක  ඩෙවොන් 5 යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරූ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ”MV KOTA KAMIL” නම් වෙළෙඳ නෞකාවට ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම් දීමක් සිදුකර තිබුණේ නිරුපද්‍රිතව සිටින ධීවරයින් මුදා ගැනීමට සහාය වන ලෙසයි.

ඒ අනුව අදාළ වෙළෙඳ නෞකාව අද උදෑසන වනවිට ආපදාවට පත් යාත්‍රාව වෙත සමීප වී එහි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ධීවරයින් දෙදෙනා  මුදාගැනුණද ඒ අතරින් එක් අයෙකුද මියගොස් තිබුණි. 

පුවත්

ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update)

Published

on

By

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී නැති බව පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

මීට පෙර පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වුණේ ඔහු මියගොස් ඇති බවයි.

————-

(පෙර පුවත : 2025/04/22 at 10:40 )

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී ඇත.

අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුවී තිබුණු අතර, තුවාල ලැබූ ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු අප්‍රේල් 24දා  ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත.

Continue Reading

පුවත්

පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

Published

on

By

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ කිසිසේත්ම භාවිත නොකළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කරමින් පැවැත්වූ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවය.

විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූවක්ද නැතිනම් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇති බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙයි.

තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඒ අනුව ක්‍රියාවලිය අතරමග වරදක් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ජනාධිපතිතුමා යන්නේත් නැහැ එහෙම. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් මේ කරපු වැඩේ පිළිබඳව මාධ්‍ය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මෙතන වරදක් වෙලා තියෙනවා ඒ ගැන පොලිසි විමර්ශන කරගෙනන යනවා. අපේ රටේ පෙරහර වගේ එවැනි අවස්ථාවකට පෙර ගමන් රථ ඉල්ලුවොත් ලබා දෙනවා. නමුත් මේක එහෙම කටයුත්තක් නෙවෙයි. 

පුද්ගලයන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා කිසිසේත්ම පොලිසියේ මෙවැනි රථවාහනන පොලිස් නිලධාරින් භාවිතා නොකළම යුතුයි. කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නීතියකුත් නැහැ.

මම දන්න හැටියට එකවර 8000ක් එනවා කියල නෙවෙයි ඉල්ලලා තිබුනේත්. සෙෂන් හතරකට ළමයි ගෙන්න ගන්නවා කියලා තමයි ඉල්ලලා තිබුණේ. ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව තමයි මුලින්ම ඉල්ලලා තිබුනේ. 

ක්‍රියාවලියේ අතරමග සිද්ධ වෙච්ච වරද පිළිබඳව විමර්ෂන වාර්තාව බලමු. අදාළ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙවැනි ආකාරයේ කටයුතු වලට ඉඩ ලබා ගන්නේ කොතනින්ද කියන එක අපි බලමු. පොලීසියෙ තියෙන නීති වලින් රිංගලා යන්නේ කොතනින්ද කියලා බලන්න ඕන”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved