Connect with us

පුවත්

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා මිස විකුණන්නෑ – ඇමති

Published

on

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත්  වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.  

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.  

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලැබුවා. දේශපාලන හේතූන් මත විපක්ෂය එය අසුබවාදී යැයි පැවසුවත් රට ගැන හිතනවා නම් ඒ හරහා  ඉතා සුබදායී පණිවිඩයක් ලැබුණු බව කිව යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ යෙදෙන්නේ නීති, රෙගුලාසි හා නිර්ණායක මත පදනම්ව මිස කාගේවත් මුහුණු බලා ගෙන නොවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොවෙයි. ඒ වාණිජ ණය ( Commercial Loans) සඳහායි. මෙරට වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා තවමත් සිදු කරමින් පවතිනවා. ඔහු නොදැනුවත්කම හේතුවෙන් මේ කියන්නේ තවමත් තීරණයක් ලැබී නැති සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් ගැනයි. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය තක්සේරු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව මෙම නිර්ණායක වෙනස් වෙනවා. මෙවැනි ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද පැවසිය යුතුයි.

මේ රට පත්වූ ව්‍යවසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන තිබෙනවා. දෙවන පියවර වන්නේ එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමයි. එසේ නොවන්නට මීට වසර 2කට පෙර රට තිබූ තත්ත්වයට නැවත පත් වීම වැළැක්විය නොහැකියි.

මෙවර අයවැයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ මැතිවරණ බලාගෙන නෙවෙයි.

ඒ වගේම මෙහිදී ශ්‍රී ලංකන්  ගුවන් සමාගම ගැනත් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ  ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ  කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.

මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොල ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලටයි.
තවද අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද  ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරනවා. ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා මා හමුවේ ප්‍රකාශ කළා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved