Connect with us

පුවත්

අහුන්ගල්ලේදී සැකකරුවෙකු මරා දැමූ STF අයි.පී වහාම උසාවි ගේන්න

Published

on

අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී 2022.10.12 වැනිදා පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙකු දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර වහාම ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර තිබේ.

ඒ, බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක මහතා විසිනි.

සැකපිට අත්අඩංගුවට ගත් කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැත්තා සඟවා තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වාදීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි.

එම අවස්ථාවේදී සැකකරු විසින් සඟවා තිබූ ගිනි අවියක් ගෙන වෙඩි තැබීමට උත්සාහ කිරීම හේතුවෙන් ආත්මාරක්‍ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි ලබාදී ඇත.

කෙසේ වෙතත් එම සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලබාදුන් සාක්‍ෂි, වෛද්‍ය වාර්තා මෙන්ම ඉදිරිපත් වූ සෙසු සාක්‍ෂි අනුව එය ආත්ම ආරක්‍ෂාව සඳහා සිදුකළ වෙඩි තැබීමක් නොව හිතාමතාම සිදුකළ වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුව අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා සම්බන්ධයෙන් අදාළ නියෝගය නිකුත් කරන ලදී.

2022.10.12 වැනිදා එම සැකකරු අත්අඩංගුවට ගත්තද අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැබෑ සැකකරු පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන තිබූ බවත්, විමර්ශන වෙනත් මගකට යොමු කිරීමේ අරමුණින් එම මරණකරු සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදී ඇති බවත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙන්වාදී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව අධිකරණ හමුවේ වෙනත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් තිබූ බවද ඒ. ආර්. 2049/2022 යන නඩු අංකය යටතේ පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

පුවත්

නම් නැති සභිකයින් 223ක්

Published

on

By

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවය.

කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Continue Reading

පුවත්

රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක්

Published

on

By

වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවයි.

එමෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක් මතුවීම නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවල යම් සීමා මතුවී තිබෙන බවත් හෙතෙම පැවසීය.

තවදුරටත් කරුණු පැහැදිළි කරන වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

“මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා. 

පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා.

රෝහල් පද්ධතිය තුළත් මේ ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟතාවක් තිබෙනවා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.

ඒ වගේම මේ වනවිට අපට වාර්තා වෙනවා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක්. ඒ නිසා පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර යම් සීමාවන් මතුවෙලා තියෙනවා” 

Continue Reading

පුවත්

ශ්‍රීපාදයට යන පාරක් දින 10කට වැසේ

Published

on

By

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට මෙලෙස වසා තැබේ.

ඒ අනුව, අද (14) සිට ජුනි මස 24දා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටියි.

අදාළ මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත.

එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග එය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවධානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved