හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.
දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.
තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.
රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.
රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.
ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.