Connect with us

පුවත්

රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානම ගැන වජිර හෙළි කරයි

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ ඒ මහතා, සාම්ප්‍රදායික පටුබෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

‍”මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වන බව කිව යුතුයි. වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ඉතිහාසය තුළ අප රටේ කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙනවා.

පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වුණා. එම නිසා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද? එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් සිවිල් සමාජය තුළ ඇති නොවීමට තම ඡන්දය භාවිත කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික මහජනතාව ඉදිරියේ තිබෙනවා.

සාම්ප්‍රදායානුකූලව තම දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත්, එසේ නොමැති නම් කුලවාදය මුල්කරගත් ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින කුලවාදී දේශපාලනය ක්‍රියාත්මක කළහොත්, ආගම මත කටයුතු කළහොත් තුන්වැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතුව තිබෙනවා. ඒ බව මෙරට දේශපාලන පක්ෂ හොඳින් මතක තබා ගත යුතුයි.

පසුගිය සමයේ රට බංකොලොත් වූ අවස්ථාවේ රට නැවත ගොඩනැඟීමේ වගකීම විපක්ෂය විසින් භාර ගත්තේ නැහැ. රටේ අනාගතය ගොඩනැඟීමේ වගකීම ඒ අවස්ථාවේදී භාරගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස එවකට පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා 2022 ජූලි මස 22 වැනිදා පාර්ලිමේන්තුවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වෙමින් රටේ අනාගතය ගොඩනඟන වගකීම භාර ගත්තා.

අනතුරුව වැටුණු රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දුන්නා. ආර්ථික  පරිවර්තන පනත ඒ අතරින් විශේෂයි. එයින් බැහැරව කිසිම දේශපාලන පක්ෂයකට කටයුතු කළ නොහැකියි. 2027 වසර වන විට අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කර වසර 5ක් ගත වෙනවා. ආර්ථික පරිවර්තන පනතට අනුව 2027 වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 5%ක තත්ත්වයක පැවතිය යුතුයි. මෙතෙක් රට පාලනය කළ පක්ෂවලට වගවීමක් නොතිබූ කාරණා සම්බන්ධයෙන් ආර්ථික පරිවර්තන පනත හරහා වගවීමක් ඇති කර තිබෙනවා. එබැවින් ඕනෑම පක්ෂයක් තම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ මෙම පනතට අනුව බව පැවසිය යුතුයි.

ඒ වගේම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳාමත්, කර්මාන්ත ක්‍රමයත්, ආසියාව සහ ලෝකය සමඟ තරග කරන ක්‍රියාවලියත් ඇතුළත් වන පරිදි වේගවත් ආර්ථිකයක් ඇති කිරීම මෙම නව ආර්ථික පරිවර්තන පනතෙහි අරමුණ වී තිබෙනවා.

ඇතැම් දේශපාලන පක්ෂ තවදුරටත් සාම්ප්‍රදායිකව ජනතාව මුලා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහිදී අයවැය කාර්යාලය පනත සහ ආර්ථික පර්වර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි වැදගත් පනත්වල තිබෙන ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් තම ප්‍රතිපත්ති මහජනතාවට ඉදිරිපත් කිරීමින් සිටිනවා. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමට නොහැකි වන තත්ත්වයක් ඇති වීම බව මගේ අදහසයි. උදාහරණයක් විදිහට ආර්ථික පරිවර්තන පනතට, අයවැය කාර්යාලයේ පනතට සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම යන පනත්වලින් බැහැරව දේශපාලන භූමිකාවක් තිබෙන්නට බැහැ.

නමුත් නව ආර්ථික පරිවර්තන පනත වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 225ම එකඟ වුවත් ඔවුන් පිටතට පැමිණ වෙනත් කතා කීම කනගාටුවට කරුණක්. රට තිබෙන තත්ත්වය තේරුම් ගෙන එසේ කටයුතු නොකරන ලෙස මා සෑම  පාර්ශ්වයකගෙන්ම ඉල්ලා සිටිනවා. තම ආගම්වාදී, කුලවාදී සහ දේශපාලන ප්‍රතිපත්ති පැත්තකින් තියා රට හදන ජාතික සැලැස්මකට එකඟ වන ලෙස ඉල්ලා සිටිනවා.

තමන්ගේ ප්‍රතිපත්තිය කුමක් වුවත්, එය එසේ තබාගෙන රට ගොඩනැඟීමේ ප්‍රතිපත්තියට හානි නොකර රට ගොඩනැඟීමේ දීර්ඝ කාලීන වැඩසටහනකට එකඟතාවය පළ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ එනිසා බව ද කිව යුතුයි.

ඒ වගේම අප ජනතාවට නිරතුරුවම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. දූෂණය සම්බන්ධව තවමත් ඇතැමුන් අසත්‍ය  ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් වත්මන් පාලනය කටයුතු නොකරන බවට ද චෝදනා නඟනවා. නමුත් දූෂණය පාලනය කිරීම සඳහා අධිකරණය මෙන්ම පොලිසිය ද තිබෙනවා. දූෂණය අවම කිරීමට එම කොටස ශක්තිමත් කර තිබෙනවා. එපමණක් නොව, ආසියාවේ බලසන්නම දූෂණ විරෝධී පනත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බලාත්මක කර තිබෙනවා.

තව ද අද ඇතැමුන් රට විකුණන බව කියමින් විවිධ චෝදනා නඟනවා. එදා හිල්ටන් හෝටලය හදන විට එය විකිණීමක් බව කියූ ඇතැමුන් අද හිල්ටන් හෝටලය ලාභ ලබන විට එය අපේ දෙයක් බව කියනවා. සැබවින්ම මේ අයට ආර්ථිකය ගැන දැනුමක් සහ දැක්මක් නැහැ. ඒ වගේම ප්‍රාථමික කම්හල් අපට හැමදාම අවශ්‍ය නැහැ. මේ වන විට කොරියාව වැනි රටවල් ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉදිරියට ඇවිත් නෞකා, ගුවන් යානා නිෂ්පාදනය කරන තැනට වර්ධනය වී සිටිනවා. මෙම නව තත්ත්වයන් අප හඳුනාගත යුතුයි.

ඒ නිසා මේ රට ගොඩනැඟීමට නම් වසර 6කට 12 කට හෝ 15කට රට හදන ජාතික සැලැස්මක් අනුව එක්ව ක්‍රියා කළ යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ද ඒ නිසා බව පැවසිය යුතුයි. තම බලය ලබා ගැනීම වෙනුවෙන් මහජනතාවට සාම්ප්‍රදානුකූලව බොරු කීම නතර කළ යුතුයි. මේ වැටුණු රටට ගොඩයෑමට වෙනත් විකල්ප මාර්ගයක් නැහැ.

එහිදී රට පළමු තැනට තබාගෙන සියලු ශ්‍රී ලාංකිකයන් එක්වීම ඉතා වැදගත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තම මතය ප්‍රකාශ කරන්න ඕනෑම දේශපාලන පක්ෂයකට නිදහස තිබෙනවා. නමුත් රට නැවතත් දුක්ඛදායක තත්ත්වයකට පත් කරනවා ද? නැද්ද? තෝරා ගැනීමට ඡන්දදායකයන්ට අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණයෙන් ලැබී තිබෙනවා. ඡන්දදායකයන් ඡන්ද පොළට යා යුත්තේ වෛරයෙන් නෙමෙයි. මෙවර මැතිවරණය කාගෙන්වත් පළිගැනීමට පවත්වන මැතිවරණයක් නෙමෙයි. මෙවර මැතිවරණය රට පරාජය කිරීමට ඡන්දය භාවිත කරන අවස්ථාවක් නොවන බව ද මතක තබාගත යුතුයි. ”  

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved