Connect with us

පුවත්

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

Published

on

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක් බලා සිටිය යුතු නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තවත් වෙනිසියුලාවක් වීමට ඉඩ නොදී ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදක්නා තීන්දු තීරණ හේතූ වූ බවත්, එම නිසා රට ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට පක්ෂ දේශපාලනය පසෙක තබා සහාය දීම සියලු දෙනාගේ වගකීම බවත් ඒ මහතා අවධාරණය කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

රටක් ලෙස පසුගිය වසර දෙක තුළ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අභියෝග  රැසකට මුහුණ දීමට සිදුවුණා. පළමු අභියෝගය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනට සම්බන්ධ වීම සඳහා පැරිස් සමාජය ඇතුළු මෙරට ණයහිමි රටවල සහාය ලබා ගැනීමයි. එහිදී එකිනෙකට වෙනස් මත තිබෙන රටවල් රැසක් සමඟ කටයුතු කිරීම ඉතා අසීරු කාර්යයක් බවට පත්ව තිබුණා. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් විදෙස් රටවල්වල සහාය ලබා ගැනීමට අප සමත් වුණා. එය අපගේ විදෙස් ප්‍රතිපත්තියෙහි ලද විශාල ජයග්‍රහණයක් බව පැවසිය යුතුයි. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එම දැනුම උපයෝගී කරගෙන විදෙස් රටවල් නිසි ලෙස කළමනාකරණය කරගෙන ඉදිරියට යෑමට අපට හැකියාව ලැබුණා.

පසුගිය මාසය තුළ ජපානය, සිංගප්පුරුව, රුමේනියාව සහ පෝලන්තය යන රටවල්වල සිදුකළ සංචාරයන් ඉතා සාර්ථක වූ බව ද කිව යුතුයි. බොහෝ කලක් තිස්සේ පැවති ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට එම සංචාර ඉවහල් වුණා. විශේෂයෙන්ම ජපානය විසින් අත්හිටුවා තිබූ ව්‍යාපෘති කිහිපයක් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. එහිදී අත්හිටුවා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ව්‍යාපෘති 13ක් නැවත ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. සිංගප්පුරුව සමඟ ද ආයෝජන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නව රැකියා අවස්ථා වැඩි කර ගැනීම පිළිබඳව රුමේනියාව සමඟ සාකච්ඡා කළා. පෝලන්තයේ මෙරට තානාපති කාර්යාලයක් නොමැති නිසා ඒ සම්බන්ධව ද සාකච්ඡා  සිදුවුණා. 

මේ සියල්ල සිදු කිරීමට අපට හැකියාව ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදක්නා තීන්දු තිරණ නිසා බව පැවසිය යුතුයි. එතුමා එක් පාර්ශ්වයකට සීමා නොවී පෙරදිග හා අපරදිග රටවල් සියල්ලම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදුකළා. 

ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය හොඳින් කළමනාකරණය කරගෙන යන බවට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ලොව පිළිගත් සඟරාවක් වන foreignpolicy.com හිද සඳහන් කර තිබෙනවා. රට වෙනුවෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට අපගේ නිවැරදි විදෙස් ප්‍රතිපත්තියට අනුව හැකිව වී තිබෙන බව මේ අනුව තහවුරු වෙනවා. 

ඒ  වගේම දැනට මැද පෙරදිග මතුවී ඇති තත්ත්වය බලාපොරොත්තු නොවන ආකාරයේ අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණදීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එහිදී එක් කමිටුවක් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධවත්, අනෙක් කමිටුව අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම ඇතුළු ආර්ථික කේෂ්ත්‍රය සම්බන්ධවත් කටයුතු කරනවා.  එම කමිටු දෙක නිරීක්ෂණය  කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා.

2022 වසරේදී මෙරට ඉන්ධන අර්බුදයක් ඇති වුණා. ඊට විවිධ හේතූන් බලපෑවා. රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගියා. ගල් අඟුරු, තිරිඟු පිටි ආදියෙහි මිල ඉහළ ගියා. එම මිල ඉහළ යෑම දරා ගැනීමට නොහැකි වූ නිසා රට අර්බුදයට ගියා. එම උගත් පාඩම් සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමා එවැනි තත්ත්වයක් යළිත් ඇති නොවීමට මේ ආකාරයට පූර්ව සූදානමක් ලෙස කමිටු පත් කර ක්‍රියාත්මක වීම ඉතා කාලෝචිත බව කිව යුතුයි. 

ඒ අනුව අප රැස්වී රට තුළ බලශක්තිය ස්ථාවර කිරීමටත් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.  ඕනෑම රටකට පාලනය කළ හැකි තත්ත්වයන් තිබෙනවා. නමුත් ජාත්‍යන්තරමය වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් රටකට පාලනය කළ නොහැකියි. එහෙත් එය අපේ පාලනයෙන් තොරවීම හේතුවක් කරගෙන රට කඩාවැටෙන තෙක් බලාගෙන සිටිය යුතු නැහැ. 

ශ්‍රී ලංකාව තවත් වෙනිසියුලාවක් නොකර ස්ථාවර කිරීමට ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණා. එබැවින් මේ රට අර්බුදයෙන් බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය ලබාදීමට අප විසින් 2022 වසරේදී ගනු ලැබූ තීරණය පිළිබඳව අද සතුටට පත් වෙනවා.

රටක් ලෙස ඉතා දුෂ්කර තත්ත්වයක සිට යම් ස්ථාවරත්වයක් වෙත පැමිණ ඇති නමුත්, මෙය අතුරේ ගමනකට සමානයි. සිදුවන සුළු එහා මෙහා වීමකින් යළිත් අගාධයට ඇදවැටිය හැකියි. විපක්ෂයට අවශ්‍ය රට අතුරෙන් වට්ටා යළිත් අපායට දමන්නද? නැතිනම් අපායෙන් මිදීම ස්ථීර කර ගන්නද? යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එබැවින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට පක්ෂ දේශපාලනය පසෙක තබා සහාය දැක්වීම සියලු දෙනාගේ වගකීමක් වනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved