Connect with us

පුවත්

රනිල් ඡන්දය ඉල්ලන්න නුසුදුස්සෙක් කරන්නැයි ශාන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි!

Published

on

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ ශාන් රණසූරිය විසිනි.

ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත් පෙත්සම්කරු චෝදනා කර ඇත.

සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරත් ඉල්ලා තිබේ.‘වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න’‍

පෙත්සම්කරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හා නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති අතර ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇති බව ය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ වගකීමත් ඔහු වෙත පැවරී තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 2ක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා යැවූ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමෙන් අනතුරුව එම උසස්වීමද සිදු නොකෙරුණු බවත් ඉන් පසුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් මතුව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එසේ ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරු එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මස 24 වනදා අතුරු නියෝගයක් නිකුත් කළ බවත් සිහිපත් කර ඇත.

‘වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට කිසිදු බාධාවක් නැහැ’

එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

එහෙත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව උපරිමාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය කර තිබෙන බව පවසන පෙත්සම්කරු වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම තුළින් මහජන ආරක්ෂව අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවත් පෙන්වා දී තිබේ.‘ජනපති අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසුයි’

ජනාධිපතිවරයා චේතනාන්විත ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත් පෙත්සම්කරු චෝදනා කර ඇත.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුදුසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන මෙන් ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(බීබීසී – සිංහල)

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved