Connect with us

පුවත්

“ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට වහාම ක්‍රියාමාර්ග ගන්න”

Published

on

ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට පසුගියදා දැනුම් දෙන ලදී.

නව “ආගමන” පනත් කෙටුම්පත සලකා බැලීම සදහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ 2023 වසරේ ගමන් බලපත්‍ර දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබුන ද විදේශගතව තිබුනේ ඉන් 23%ක් පමණක් බවත් ඉතිරි 77% විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කර නොමැති බවත්ය. එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) ඉදිරි ඔක්තොම්බර් මස අගවන විට හදුන්වාදීමට නියමිත බැවින් ඇතැම් රටවලින් නව ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය ඉල්ලාසිටීමට ඉඩකඩ ඇති බවත් ඒ අනුව අත්‍යවශ්‍ය නොවන පිරිසට ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳව හැකිතාක් ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි. එහෙත් මුදල් ගෙවා ගමන් බලපත්‍ර ලබා ගැනීම ජනතාවගේ අයිතියක් බැවින් ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි ඉල්ලුම් කරන ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේ නොවුනහොත් දෙපාර්තමේන්තුව මෙන්ම රජය ද ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි බව ද කාරක සභා සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාවේ සහ නේපාලයේ සංචාරය කරන බැතිමතුන්ට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැවති අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ. 

නව “ආගමන” පනත් කෙටුම්පත සලකා බලමින් කාරක සභාව විසින් ඒ පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2024 ජූනි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2017 වසරේදී කෙටුම්පත් කිරීම ආරම්භවූ බව ආගමන විගමන පාලක
ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. ආගාමික හා විගාමික හා 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (විධිමත් කිරීමේ) පිටවීමේ අවසර පත්‍ර පනත්, වත්මන් සමාජ හා තාක්ෂණික තත්ත්වයට ගැළපෙන ලෙස සංශෝධනය කරමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත. එසේම මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වී ඊට අදාළ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බැවින් ඊට අදාළ සංශෝධන සිදු කිරීම සදහා කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත මෙරට ආගමන විගමන නීතිවල පැවති අඩුලුහුඩුකම් නිවැරදි කිරීම සදහා ප්‍රතිපාදන සපයා ඇති බව ද මෙහිදී අනාවරණය විය. විශේෂයෙන් මෙරට මෙතෙක් නීති නොපැවති මිනිස් අවහරණය (Human Smuggling) සදහා ප්‍රථම වරට මෙම නව පනත් කෙටුම්පත මගින් අවශ්‍ය නෛතික විධිවිධාන සලසා ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පෙන්වා දුන්නේය. එසේම දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සමගඉදිරියට යාම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මෙන්ම මෙරට අනවසරයෙන් රැදී සිටින පුද්ගලයන් සදහා අදාළ වන ප්‍රතිපාදන ඇතුළු නව නීති මෙම නව පනත් කෙටුම්පත මගින් පනවා ඇත. බොහෝ පිරිසකගේ අදහස් යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද බව ඉළුක්පිටිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. බොහෝ කාලයක් පමාවූ මෙම පනත් කෙටුම්පත කාලීන වශයෙන් ඉතාම වැදගත් පනතක් බව ද කාරක සභාවේදී සාකච්ඡා විය.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ඊට අදාළ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ද කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය. පනත් කෙටුම්පතට අනුමතිය ලබා දෙමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේ මෙම පනත වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා පවතින බාධා ඉවත් කරගැනීමට අදාළ යෝජනා සති 2ක් තුළ කාරක සභාවට ලබා දෙන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින්
දැනුම්දෙන ලදී.

එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ලබන ඔක්තෝබර් අගවන විට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ලක්ෂ 50 ක් ලැබීමට නියමිත බවත් මෙහිදී ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්ත‍මේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම රැස්වීමට එක්ව සිටියහ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, උදයන කිරිදිගොඩ, ගුණතිලක රාජපක්ෂ, ජයන්ත වීරසිංහ, ඉෂාක් රහුමාන්, සුදත් මන්ජුල,  කුමාරසිරි රත්නායක සහ මධුර විතානගේ යන කාරක සභාවේ සාමාජික මෙන්ම සාමාජික නොවන මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

පුවත්

ජොන්ස්ටන්ට බොරු මෙඩිකල් දුන් දොස්තර ගැන පරීක්ෂණයක්

Published

on

By

විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි තරමට දැඩි කොන්දේ අමාරුවකින් පෙළෙන බවට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ලිපි ශීර්ෂයක් යටතේ අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර කුමක්දැයි අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළා ය.

මහාධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව හා එකී පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව එකී වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාරී රණතුංග කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය එකී විමර්ශනවලින් අනතුරුව ගනු ලබන විනය පියවර කුමක්දැයි වාර්තා කරන ලෙසට නියෝග කළා ය.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඇති නඩුවේ පැමිණිල්ල වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි 30 වන දා දක්වා කල්තැබීමට ද විනිසුරුවරිය නියෝග කළා ය.

පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කොට තිබූ විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කළ ඒ.එම්. විජේරත්නගෙන් විත්තියේ නීතිඥවරු ඊයේ හරස් ප්‍රශ්න ඇසූහ.

ලබන ජූලි 30 වන දා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා සතොස ආයතනයේ මුල්‍ය අංශ ප්‍රධානි නිලුෂි සංජීවනීට නොතීසි යැවීමට ද නියෝග කළ විනිසුරු ලංකා ජයරත්න ලබන අගෝස්තු 16 වන දා සිට අගෝස්තු 23 වන දා දක්වා කාලය සඳහා දෙවන විත්තිකරුට විදේශගතවීමට ද අවසර ලබා දුන්නා ය.

ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසත් අධිකරණය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනා ලෙසත් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය කළාය අධිකරණය භාරයේ ඇති තුන්වන විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත භාර දෙන ලෙසට ද විනිසුරුවරීය නියෝග කළා ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

බොරතෙල් මිල අඩුවෙයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත.

මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව, සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි.

මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි.

ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය.

ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබේ.

Continue Reading

පුවත්

විද්‍යුත් විකාශන සමුළුව හෙට කොළඹදී

Published

on

By

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) හෙට (25) කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක මහතා පවසයි.

විද්‍යුත් විකාශකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ බව පැවසීය.

විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ නව ප්‍රවණතා, නව මාධ්‍ය පැමිණිමත් සමග මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අභියෝග, සහ මාධ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසුවේය.

එමෙන්ම ශ්‍රී ලංකාව අනාගතයේ විද්‍යුත් විකාශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතය.

සැසි කිහිපයකින් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවත්, විදෙස් නිරීක්ෂකයින් මෙම සමුළුවට සහභාගීවිමට නියමිත බවද පැවසුවේය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ලේකම් ලක්සිරි විතානගේ, මාධ්‍ය විශ්ලේෂක හා උපදේශක නාලක ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved