Connect with us

පුවත්

රනිල්ගේ, සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරේ වෙලා තියෙන්නේ පනින අය එකතු කරන එක

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ  විශේෂ මාධ්‍ය හමුවක් අද පැවැත්විණි.

රට අනුරට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් මැයෙන් මෙය සංවිධානය කර තිබූ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ද මීට එක්විය.

මෙහිදී අදහස් දක්වමින් අනුර දිසානායක මහතා පවසා සිටියේ රනිල්ගේ, සජිත්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරය වී තිබෙන්නේ එහාට මෙහාට පනින අය එකතු කර ගැනීම පමණක් බවය.

මාධ්‍ය හමුවට එක්වෙමින් එතුමා විසින් දැක්වූ අදහස්,  

“ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සංහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට පනිමින් ඉන්නවා. කොටසක් රනිල් වික්‍රමසිංහ බෙදා ගන්න උත්සාහ කරනවා. තව කොටසක් සජිත් ප්‍රේමදාස ළඟ. තවත් කොටසක් නාමල් රාජපක්‍ෂ ළඟ. ඒක තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය. ජාතික ජන බලවේගය හැටියට අපි දිගු කාලයක් මේ මැතිවරණයට සූදානම් වෙමින්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් සාමාජිකයන්, ආබාධිත වූවන් සහ විවිධ වෘත්තීන් අනුව පිහිටුවා ගත් සංවිධාන පෙළගැසෙමින් ඉදිරියට පැමිණියා. අපේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ මහජන බලවේගයයි. ඔවුන්ගේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින අයයි. දේශපාලන පොරපිටියේ ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් කඳවුරේ විවිධ කණ්ඩායම් ප්‍රතිපත්ති හෝ පක්‍ෂ හෝ සොයාගන්න බැරි තත්වයකට පත්වී සිටිනවා. පසුගිය 17වැනිදා රුහුණෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පසු කිරිබත්ගොඩ සහ කොළොන්නාවේ ජනතාව හමු උනා.

මේ අය ඉතිහාසයේ කළේ මොනවද? තිබෙන තත්වය මොකක්ද? මේ රට මුදා ගැනීමේ මාවත මොකක්ද? ආදී කරුණු ගැන අපි කතා කරනවා. පවතින තත්වයෙන් රට මුදාගැනීමට ජනතාවගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ ඇයි කියන දේ අපි ජනතාවට පැහැදිලි කර දෙනවා. දේශපාලන බලය පොදු ජනතාවගේ අතට මාරු වෙයි කියා දූෂිත කල්ලිය කවදාවත් කල්පනා කළේ නැහැ. දීර්ඝ කාලයක් ආණ්ඩු කළ ඇමැති ධුර දැරූ අය පිල්වලට බෙදී ඉන්න අතරේ මේ දේශපාලන සූදුව නිමා කිරීමට ප්‍රතිපත්තිගරුකව, සැලැසුම්සහගතව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අපිට එරෙහිව සතුරන් අසත්‍ය සහ අවලාද නඟමින් යනවා. කුරුණෑගල වේදිකාවක එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. අපි කවදාවත් ඒ මන්ත්‍රීවරුන් ගැන කියන්න නොසිතූ දේවල් දැන් කියන්න සිදුවෙලා තිබෙනවා. ඔහු අප සමඟ එක්වීමට තිස්හතළිස් වතාවක් ආවා. අපට පක්‍ෂපාතී කරුණු එළියේදී ඉදිරිපත් කර ඒ බව වට්ස්ඇප්වලින් අපට එවා තිබුණා. ඔහු අද වෙන වේදිකාවල ඉතාමත් බාල අවලාද නඟනවා. මේ රටේ ශිෂ්ටාචාරය, සමාජය ගොඩනැඟී තිබෙන ආකාරය ගැන ඉතා හොඳ අවබෝදයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් අපි. සෑම ජන ප්‍රජාවකටම තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. ඒ අනන්‍ය වූ සංස්කෘතික උත්සව, ආගමික උත්සව මෙන්ම අනන්‍ය වූ ආගමික සම්ප්‍රදායන් ආරක්‍ෂා කරමින්, රැකබලාගෙන අනාගතයට පවරා දීම අපගේ අපේක්‍ෂාවයි.

තව පිරිසක් රත්නපුරයට ගිහින් කියනවා, අපේ පාලනයක් යටතේ පතල් කැණීම් සම්පූර්ණයෙන් නතර කරනවා කියලා. ඇත්තටම අපේ අපේක්‍ෂාව හොංකොං නගරයට කේන්ද්‍රගත වී තිබෙන ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ මධ්‍යස්ථානය අප වෙත ලබා ගැනීමයි. අපේ අපේක්‍ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරනවා. අපේ පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදනවා. එක්දහස්නවසිය හැත්තෑහතේ බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට නිවාඩු දුන්නා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම, ගෙවල් ගිනි තැබීම වැනි ක්‍රියාවලට අනුබල දී ඔවුන් මැතිවරණ ජය සැමරුවා. ඉන් පසු රාජ්‍ය ආයතනවල සේවකයන් රාජකාරීවලට පැමිණීමට නොහැකි ලෙස මර්දනය දියත් කරමින් දේශපාලන ජය සැමරුවා. නමුත්, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් සහ ක්‍රියාකාරී වූ කිසිවකුට නිය පිටින් හිංසාවක්, පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම අප තහවුරු කරනවා. එය අපේ වගකීමක්. නමුත්, ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අවලාදවලින් පවත්වාගෙන යනවා.

අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා” රාජපක්‍ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස්විසිදෙකේ මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්‍ෂා කරනවා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර,‘ජනෝදානය’ සංවිධානයේ අරුණ ශාන්ත නෝනිස් හා ‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානයේ කීර්ති වැලිසරගේ යන මහත්වරුන්ද එක්ව සිටියහ.

පුවත්

ජූලි සිට බස් ගාස්තු 2.5%කින් අඩුකරන්න NTC අනුමැතිය (Update)

Published

on

By

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01දා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර, ඒ අනුව මෙවර ජුලි මස 01 වනදා සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු  ඇත.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණු අතර, 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට ප්‍රවාහන බලධාරීන් සිදු කර ඇති යෝජනාවට බස් සංගම් නියෝජිතයන් සිය අප්‍රසාදය පළ කර තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 25 ප.ව.4:43)

2% බස් ගාස්තු අඩුවට බස් සංගම් වලින් විරෝධය

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.

Continue Reading

පුවත්

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

Published

on

By

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය,

Continue Reading

පුවත්

දේශබන්දුගේ සාක්ෂිකරුවන් කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදී අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම අද (25) අවසන් විය.

වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර පැවසුවද, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හෙතෙම කියා සිටියේ අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවයි.

මේ නිසා එම සාක්ෂිකරුවන් අද දින පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටි නමුත් ඔවුන්ව මුදාහැරීමට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කළේය. 

වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබාගෙන වගඋත්තරකරුගේ නඩුව අවසන් කිරීම අද සිදු විය.

රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය පෙර එකඟ වූ පරිදි, 2025 ජූලි 01 දින පෙ.ව. 9.30ට රැස්වී මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ විය.

පරීක්ෂණ කමිටුව යළි ජූලි 01 දින රැස්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved