Connect with us

පුවත්

‘INS Mumbai’ නෞකාව එයි (ඡායා)

Published

on

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

(මූලාශ්‍රය හා ඡායා : navy.lk)


(පෙර පුවත 2024 අගෝස්තු 26, පෙ.ව.7:58)

ඉන්දීය යුද නැවක් අද කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් වන INS මුම්බායි නෞකාව තෙදින සංචාරයක් ස‍‍ඳහා අද (අගෝස්තු 26) කොළඹට පැමිණීමට නියමිතය. 

මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උත්සවාකාරයෙන් පිළිගනු ඇත.

INS මුම්බායි නෞකාව දිල්ලි පන්තියේ destroyers යුධ නෞකා අතර තෙවැන්න වන අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එය 2001 ජනවාරි 22 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් කරන ලදී. මෙම නෞකාව එහි නම ද වන මුම්බායි නගරයේ මැසගොන් ඩොක් ලිමිටඩ් හි නිෂ්පාදනය කරන ලදී. නෞකාව සිය මැදි ජීවන උත්ශ්‍රේණි කිරීම සම්පූර්ණ කර 2023 දෙසැම්බර් 08 වන දින විසාකාපට්නම් හිදි නැගෙනහිර නාවික විධානය සමඟ එක් විය. මෙය INS මුම්බායි නෞකාව විසින් ශ්‍රී ලංකාවේ වරායක් වෙත සිදු කරනු ලබන ප්‍රථම සංචාරය වන අතර මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අට වන නෞකාව වේ. ඉන්දීය නාවික හමුදාවේ INS කබ්රා, කරන්ජ්, කමෝර්තා සහ ශල්කි නෞකාවන් මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සමර්ථ්, අභිනව් සහ සැෂේ නෞකාවන් ද මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ස‍‍ඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇත. ඩෝනියර් ගුවන් යානය දෙවසරකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කරන ලද අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ මුහුදු වගකීම් කලාපය සඳහා සුවිශේෂි සහ තීරණාත්මක ආවේක්ෂණ හැකියාවක් ලබා දී ඇත. එසේම මෙය ශ්‍රී ලංකාවේ විශාල සුවිශේෂී ආර්ථික කලාපයේ සෙවීම් සහ මුදවාගැනීමේ හැකියාව ද බෙහෙවින් ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් සහ ගුවන් යානා මෙහෙයවන්නන් පුහුණු කිරීමට අමතරව ඉන්දියානු නාවික හමුදාව තාක්ෂණ කණ්ඩායමන් සහ අමතර කොටස් සමඟින් ගුවන් යානයේ නඩත්තුව ස‍ඳහා ද සහයෝගය ලබා දෙයි. මෙම වසර මුලදී පැමිණි ඉන්දීය නෞකාවක් විසින් අවශ්‍ය ද්‍රව්‍ය ආධාර ගෙන එන ලදී. INS කබ්රා සහ පසුව ICGS සැෂේ නෞකාවන් විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ සුරක්ෂා නෞකාව සඳහා අමතර කොටස් රැගෙන එන ලදී.

කොළඹ රැඳී සිටින කාලය තුළ INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් ස‍ඳහා නෞකාව තුළ හුරු පුරුදු කිරීමේ සංචාරයන් පවත්වනු ඇති අතර එහි අරමුණ වන්නේ දෙරට නාවික හමුදාවන් අතර මනා පිළිවෙත් බෙදා හදා ගැනීමයි. මෙම මාසය මුලදී ශල්කි සබ්මැරීනය විසින් සිදු කළ සංචාරය අතරතුරදී ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ දීර්ඝ කාලීන විශේෂිකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් සහ කැඩෙට් නිලධාරීන් සඳහා සබ්මැරීනය වෙත සංචාරයක් සංවිධානය කර තිබූ බව ද මෙහි ලා සිහිපත් කළ යුතුය. ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතා ගොඩනැගීම ස‍ඳහා ඉන්දියාවේ ජලගෝලීය විද්‍යාව යන ප්‍රධාන ක්ෂේත්‍රය ඇතුළු  විවිධ විශේෂ‍ඥ පාඨමාලා ද ලබා දෙයි.

INS මුම්බායි නෞකාව කොළඹට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරිතුමා බටහිර නාවික මූලස්ථානයේදී බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඩබ්. ඩී. සී. යූ. කුමාරසිංහ මහතා හමු වනු ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලය විවිධ ක්‍රීඩා කටයුතු, යෝගා සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් වැනි විවිධ ඒකාබද්ධ කාර්යයන්හි ද නිරත වනු ඇත.

අරාබි මුහුද සහ බෙංගාල බොක්ක හරහා ගමන් කරන අතරතුර ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීම ඉන්දියානු නාවික හමුදාව සම්ප්‍රදායක් ලෙස සිදු කරන දෙයකි. මෙම සංචාරය නෞකාවට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් සැපයුම් සම්පාදනය කර ගැනීමට සිදු කරන සංචාරයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම සංචාරය අතරතුර නෞකාවේ කාර්ය මණ්ඩලය සඳහා විවේක ගැනීමට සහ ප්‍රබෝධවත් වීමට ද කාලය හිමි වනු ඇති අතර නගරයේ වැදගත් ස්ථාන මෙන්ම කොළඹ සහ ගාල්ලේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන ද දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

INS මුම්බායි නෞකාව 2024 අගෝස්තු 29 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading

පුවත්

ADB අධ්‍යාපනයට දුන් ණය ආධාර නවත්වන්න යයි; හේතුව ව්‍යාපෘතිවල ප්‍රගතියන් නෑ

Published

on

By

මෙරට අධ්‍යාපන ව්‍යාපෘතිවලට ලබා දෙන ණය ආධාර නතර කිරීමට සිදු වන බවට ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීය.

ලබා දී ඇති ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවීම මීට හේතු වී ඇත.

විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ලබා දී තිබෙන ඩොලර් මිලියන අනූ නවයක ණය ආධාර සම්බන්ධයෙන් එම නියෝජිතයන් ප්‍රශ්න කර තිබේ.

මෙම මුදල ලබාගෙන ඇත්තේ විෂය මාලා නවීකරණය, පාසල් පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙන් ම පාසල් ඇගයීම් ක්‍රමය විධිමත් කිරීම වෙනුවෙනි.

මෙම එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට නොහැකි වී තිබෙන නමුත් සූදානම් වීමේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනින් වැය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මෙම ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ගිවිසුම් කාලය පවා අවසන් වී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබේ. දහවැනි ශ්‍රේණියේ විෂයමාලා නවීකරණයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු ආරම්භ කර තිබුණ ද ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ එක සහ හය ශ්‍රේණිවල ප්‍රතිසංස්කරණ පමණක් වීම ද එම නියෝජිතයන්ගේ විවේචනයට ලක් වී ඇතැයි පැවැසේ.

මේ දක්වා අධ්‍යාපන ව්‍යාපෘති 42ක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 1330ක පමණ ණය හා ආධාර මෙරටට ලබා දී තිබේ.

ණය හා ආධාර ඉල්ලා සිටීමට පදනම් කර ගත් ප්‍රතිසංස්කරණ යෝජනා සහ එම වැඩසටහන්වලට අදාළව කර තිබෙන වියදම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ව්‍යාපෘතිවලින් ප්‍රගතියක් අත් නොවීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙසත් ලංකා ගුරු සංගමය අමාත්‍යාංශයෙන් දැඩි ඉල්ලීමක් කරයි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved