Connect with us

පුවත්

අපි හදන්නේ ජනතාවගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන ආණ්ඩුවක්

Published

on

ජාතික ජනබලවේගය විසින්  “රට අනුරට” මැයෙන් කන්තලේ ප්‍රදේශයේදී පැවැත්වූ ජන රැළිය ඊයේ (28) දිනයේ දී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැළිය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා පවසා සිටියේ ජනතාවගේ ආත්මගරුත්වය ආරක්ෂා කරන ආණ්ඩුවක් නිර්මාණය තම අපේක්ෂාව බවය.

ඔහු විසින් පැවැත්වූ සම්පූර්ණ කතාව පහතින්,

“මේ ලංකාවේ පළමුවැනි වතාවට පැවැත්වෙන්නේ, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ස්වේච්ඡාවෙන් වැඩ කර, ජාතික ජන බලවේගය දිනවන්න වෙහෙසෙන ඡන්දයක්. ඉතිහාසයේ මෙතෙක් ඡන්ද කළේ සල්ලිවලට, බඩුවලට, අරක්කු බෝතලයට, සිල් රෙද්දට. මේ පෙළගැසෙමින් තිබෙන ජනතාවගේ බලය කිසි ලෙසකින් හෝ ආපස්සට හරවන්න බැහැ, මෙය ජයග්‍රහණයෙන් කෙළවර කරන බව සහතිකයි. රාජ්‍ය නිලධාරීන්, පොලීසිය, හමුදාව ජාතික ජන බලවේගයේ බලයක් අපේක්ෂාවෙන් ඉන්න අයයි. මේ ජනතාවගේ බලාපොරොත්තවෙන් යන මේ ගමන මොන ජගතෙකුටවත් ආයේ නම්, නතර කරන්න බැහැ.  අපට අවශ්‍ය ශක්තිමත් ජයග්‍රහණයක්. මේ ගමන වෙනස් කරලා, රට ගොඩනඟන, ජනතාවගේ ජීවිතය උසස් කරන දිසාවකට ආණ්ඩු පත්කරන්න ශක්තිමත් තීන්දු තීරණ ටිකක් ගන්න ඕනෑ. එහෙම තීන්දු ගන්න ජනතාවගේ සහාය අවශ්‍යයි. මම ඔබට ආරාධනා කරන්නේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා සැප්තැම්බර් 21 දක්වා වැඩ කරන්න විතරක් නොවෙයි. ආණ්ඩුව හැදුවාට පස්සේ, රට ගොඩනැගීමටත් හැමෝම එකතු වෙලා උරදෙමු. මහන්සි වෙමු. අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපට සහාය නොදුන් කිසිදු වෙනත් පාර්ශ්වයකට නිය තුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.

ඉතිහාසයේ හැමදාම අපට ගහගන්න ඉඩ සැලැස්සුවා. හැබැයි රනිලුයි, මහින්දයි කවදාවත් ගහ ගත්තේ නැහැ. ජනතාව දෙකට බෙදිලා ගහ ගත්තා. ඒගොල්ලෝ අතර කවදාවත් වෛරයක් තිබුණේ නැහැ. රනිලුයි මහින්දයි එකතු වෙලා ආණ්ඩු හැදුවා. අපි හැමදාම ගහගත්තා. සැප්තැම්බර් 21 දක්වා අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න වැඩ කරනවා. 22 දායින් පස්සේ පක්ෂ පාට භේදයකින් තොරව අපි හැමෝම එකතු වෙලා රට හදන්න මැදිහත් වෙන ආණ්ඩුවක් හදනවා. ඒ මිත්‍රශීලිත්වය තියෙන්නේ ජනතාවත් එක්ක. ඉහළ අයත් එක්ක නොවෙයි. හැබැයි මහජනයාගේ දේපළ හොරකම්, අපරාධ කර තිබෙනවා නම්, නිීතිය හමුවට ගොස් දඬුවම් දෙනවා. එය පළිගැනීමක් නොවෙයි; යුතුකමක්. ඒ වගේම සොරකම් කරපුවා ආපහු ගන්නත් කටයුතු කරනවා.

80 දශකයේ අග භාගයේ ඉන්දියාව නිෂ්පාදනයෙන් දියුණුව තිබූ රටක් නොවෙයි. ඒ රටේ නායකයන්ට දැක්මක් තිබ්බා නිෂ්පාදනයෙන් ආර්ථිකය උඩට ගේන්න. අද මේ කලාපෙට අවශ්‍ය ඖෂධ, බීජ, ආහාර, ත්‍රී විලර්, බයිසිකල් නිෂ්පාදනය විතරක් නොවෙයි අද හඳට යන්න තරම් දියුණු ආර්ථිකයක් ගොඩනඟා තිබෙනවා. අපේ පාලකයන්ට නිෂ්පාදනය ගැන උනන්දුවක් තිබුණේ නැහැ. ‘බයින් ඇන්ඩ් සෙලින්’ ආර්ථිකයක් තමයි තබුණේ. කන්තලේ සීනි කම්හල, වාලච්චේන, ඇඹිලිපිටිය කඩදාසි කම්හල, තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ රෙදි කම්හල් වැනි සියලුම කර්මාන්ත ශාලා වසා දැමුවා. බඩු ගේනවා, විකුණනවා. ඒක ලාභයි. ඉන්දියාව බයිසිකල්, ත්‍රී විලර්, බෙහෙත්, බිත්තර හදනවා. අපි ගේනවා; පාවිච්චි කරනවා. ඉන්දියාව නිෂ්පාදනයට පණ දුන්නා. අපි නිෂ්පාදනය කඩා වට්ටලා බඩු ගේනවා. විකුණනවා. එහෙම ගේනකොට එයාලට ලාභයි. බිත්තරයකින් රුපියල් 8ක කොමිස් මුදලක් තිබෙනවා. සීනි බදු වංචාවෙන් කෝටි 1500යි. පොල්තෙල්වල බදු වංචාව කෝටි 350යි. පොහොර නැවක් ගෙනවා. එක පොහොර ඇටයක් බෑවේ නැහැ. ඒ වුණාට ඩොලර් ලක්ෂ 60ක් ගෙව්වා. රුපියල් දශලක්ෂ 1800ක් නිකම් ගෙව්වා. ආර්ථිකය හදන්න ඒගොල්ලන්ට වුවමනාවක් තිබුණේ නැහැ. නිෂ්පාදනය කඩා වැටුණාම රට දුප්පත් වෙනවා. වෙන රටවල්වලින් ගේන්න වෙන කොට රට දුප්පත් වෙනවා.

අපේ ගම්වල දුප්පත්භාවය පැතිරිලා තිබෙනවා. මේ දුප්පත් බව කොයිතරම් ද කියනවා නම්, අතේ, කරේ, කණේ තිබුණු වළලු, මාල, කරාබු බැංකුවට සින්න වෙලා. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් ගොඩගන්න ආර්ථික වැඩපිළිවෙළක් ඕනෑ.  ඒකෙ ප්‍රධාන වැඩක් තමයි අධ්‍යාපනය. දුප්පත් රේඛාවයි, නූගත් රේඛාවයි තිබෙන්නේ එකට. මේ  දුප්පත්භාවයෙන් එළියට එන්න දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑ. අපි ප්‍රධාන වගකීම බාර ගන්නේ අපේ රටේ අධ්‍යාපනය. අද දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනය බරක් වෙලා. මෙවැනි තත්වයක් ලෝකේ කොහේවත් නැහැ. අපේ අම්මලා  ජීවිත කාලය වැඩිපුර ගෙවන්නේ දරුවන්ට උගන්වන්න. දරුවා හොඳ පාසලකට දාගන්න ඕන වුණහම දෙමව්පියන්ට පදිංචිය මාරු කරන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි සෑම දරුවෙකුටම කිලෝ මීටර් තුනකට මෙහා තිබෙන පාසල් හොඳ පාසලක් බවට පරිවර්තනය කරනවා. විශාල ලෙස ගුරු පුරප්පාඩු තිබෙනවා. ඒ සියල්ල පුරවලා හැම පාසලකටම අවශ්‍ය වන ගුරුවරුන් ලබාදෙනවා. ළමයි 50කට වඩා අඩුවෙන් ඉන්න පාසල් ගැන සලකා බැලීමක් කර පාසල් පද්ධතිය වෙනස් කරනවා. සෑම දරුවෙකුටම නවය, දහය වසරවලට ආසන්නයේදී තේරීමේ විභාගයක් පවත්වනවා. ගුරුවරයා, ළමයා, දෙමව්පියන් සමග සාකච්ඡාවක් කොට ළමයට ඉදිරියට යන්න පාර හදාදෙනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපනයෙන් නිපුණතාවකට යන හෝ වෘත්තිමය නිපුණතාවකින් ඉස්සරහට යන්න මාර්ගය සකසා දෙනවා. එකම දරුවෙකුට හෝ පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. සෑම පවුලකම උගත් දරුවෙක්, ආර්ථිකය සරුකරන දරුවෙක් ඉන්නවා. දුප්පත්භාවයෙන් ගොඩඑන්න නම් හැමෝම අධ්‍යාපනය ලබන්න ඕනෑ.

මේ ප්‍රදේශයේ ජනතාවගේ වැඩි දෙනෙකුගේ ජීවන ආර්ථික මාර්ගය කෘෂිකර්මාන්තය. මේ ගොවි ජනතාව විශාල ණය බරකින් පෙළෙනවා. ජාතික ජන බලවේගයේ අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගොවි ජනතාව ණය බරින් මුදා ගැනීම සඳහාත්, බැංකුවලින් අරගෙන තිබෙන ණයවලින් යම් ප්‍රමාණයක් කපා හරිනවා. ඒ වගේම නැවත ණය නොවෙන්න සංවර්ධන බැංකුවක් ඇති කරනවා. ඉන්දියාවේ, චීනයේ, වියට්නාමයේ හැම රටකම සංවර්ධන බැංකු තිබෙනවා. ගොවීන්ට 1%,- 2% ඉතා අඩු පොලියකට ණය දෙනවා. අපි ක්‍රමානුකූලව ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්නවා. ඒ වගේම අපේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕනෑ. ඉන්දියාවේ බිත්තරයක් ලංකාවේ බිත්තරයකට වඩා මිල අඩුයි. හේතුව නිෂ්පාදන පිරිවැය අඩු වීම. අපේ අස්වැන්න වැඩි කළොත් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න පුළුවන්. අක්කරයකට අස්වැන්න  වැඩි කළොත් වී බුසලකට යන වියදම අඩු වෙනවා. අපේ සැලැස්මක් තිබෙනවා වී  අස්වැන්න වැඩිකිරීමට. හොඳ බිත්තර වී ලබා දෙන්න ඕනෑ. අපේ බීජ පර්යේෂණායතන සියල්ලම වසා දමා තිබෙනවා. අපි මේ බීජ පර්යේෂණායතනවලට පණ දෙනවා. කන්තලේ ගොවි කණ්ඩායමක් ඉන්නවා. එයාලගේ වැඩේ බිත්තර වී හදන එක. ඒ ගොවි කණ්ඩායමට බිත්තර වී හදන්න බාර දෙනවා. ආණ්ඩුව බීජ ගොවිපළවල් හදනවා, බීජ හදනවා. ගොවියාට සාධාරණ මිලකට බිත්තර වී කිලෝ එකක් ලබා දෙන්න සැලසුමක් හදනවා. අද බිත්තර වී කිලෝ එකක් රුපියල් 500කට වැඩියි. බීජවලින් විතරක් මිල අඩු කරන්න බැහැ. වී වගාවට වතුරත් ඕනෑ. ඒ සඳහා අපේ තිබුණු සුළු හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. පැරණි වැව් 32,000න් ඉතිරි වෙලා තිබෙන්නේ වැව් 14,000ක් පමණයි. සතියක් වහින කොට ඒ වැව් පිටාර ගලනවා. සති දෙකක් පායන කොට වැව හිඳෙනවා. රොන් මඩවලින් පිරුණු මේ වැව් සුද්ද කරලා, කිසිදු බාධාවකින් තොරව යල කන්නයත් මහ කන්නයත් වගා කරන්න වතුර දෙනවා. ඒ විතරක් නොවෙයි අතර මැද කන්නයක් ගැනත් හිතන්න ඕනෑ. යළි අපේ රටේ කුඹුරේ කන්න තුනක් අස්වැන්න නෙළන්න පුළුවන් විදිහට කෘෂිකර්මාන්තයට අපි උර දෙනවා. කුඹුරට අවශ්‍ය තෙල්, පොහොර ලබා දෙන්න ඕනෙ. අපි ඒ වැඩේ කර දෙන්නම්. ඊළඟට නෙළන අස්වැන්න රැක ගන්න ඕනෑ. සාධාරණ මිලක් දෙන්න ඕනෑ. ඒ සියල්ලම සඳහා අපි සැලසුම් හදා තිබෙනවා. මේවා කරන්න පුළුවන්. අපේ නායකයන්ට කවදාවත් එය කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපි ඒ විදිහට ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා. ඒ විතරක් මදි. තවත් ගම්වල රස්සා ඇති වෙන්න ඕනෑ. කන්තලේ සීනි සමාගම ඒ සඳහා හොඳ තැනක්. යළි ඒක අපි පටන් ගන්නවා.

මම ඉඩම් ඇමති කාලෙ, ඕකෙ  ඉඩම් අයිතිය තිබුණේ මට. ෆැක්ටරිය අයිතිවෙලා තිබුණේ කර්මාන්ත ඇමති අනුර බණ්ඩාරනායකට. චීන ආයෝජකයෙක් ආවා. අනුර බණ්ඩාරනායකගෙන් මම ඇහුවා මේ වැඩේ අපි කරමුද කියලා. එයා හොරෙක් නොවෙයි. එයා කිවුවා අනුර ඔයාට කැමති දෙයක් කරන්න කියලා. මම ආයෝජකයාට කිවුවා කළු ගඟේ අත්තක් තිබුණා. ඒක ප්‍රතිසංස්කරණය කරලා වගාවට අවශ්‍ය වතුර ගන්න. මම චීන ආයෝජකයාට කිවුවා, ඒ ව්‍යාපෘතිය කරලා, මේ ෆැක්ටරිය පටන් ගන්න කියලා. චීන ආයෝජකයා හා කිවුවා. මම අමාත්‍යාංශය දාලා ආවා. චීන ජාතිකයා චීනෙට ගියා. ඊට පස්සෙ ආව අය පගා ඉල්ලන්න, කොමිස් ඉල්ලන්න පටන් ගත්තා. අපි මේ  සීනි සමාගම යළි ආරම්භ කරලා ගොවි ජනතාවගේ ජීවිතයට තවත් ආදායම් මාර්ගයක් ඇති කරනවා.

ඒ වගේම ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්්‍රක් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්්‍රක් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්. ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්. ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තිබෙනවා. දශක ගණනාවක සිට කුඩා නිස්සාරණයක් කොට අමු වැලි පටවනවා. ජාතික ජන බලවේගයේ අපි අලුත් රසායනික කර්මාන්ත ශාලාවක් ගෙනවිත් වැඩි වටිනාකම් සහිත ඛනිජ නිෂ්පාදනය කරලා, ලෝකෙට විකුණන සැලැස්ම අපි හදනවා. ඒ ඇතුලේ රස්සා ඇති වෙනවා. කන්තලේ ඉන්න දරුවා රස්සා කරන්න කොළඹ යන්න ඕනෑ නැහැ. ඒක ලොකු ව්‍යසනයක්. අද චීනයේ, ෂැංහයි, ඩැකා, චෙන්නායිවලට නාගරික ජනාවාස ප්‍රශ්නයක් වී තිබෙනවා. ගමේ අය ගමේ ඉන්න ගමන් ආර්ථික තත්වයත්, සමාජ ජීවිතයත් උසස් කරන වැඩපිළිවෙළක් තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම වී තිබෙන්නේ. මහ මුහුදේ තිබෙන මාළු සම්පත නෙළා ගන්න අපි වැඩපිළිවෙළ හදනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තුළින් රටත් පොහොසත් වෙනවා, ජනතාවත් පොහොසත් වෙනවා.

මේ වැඩේ අද බලය අරගෙන හෙට සිදුවෙන්නේ නැහැ. අපි කවුරුත් අවුරුදු කිහිපයක් දරාගෙන, මහන්සි වෙලා මේක ගොඩගනිමු. එතෙක් ආහාර ගන්න, බෙහෙත් ගන්න, අධ්‍යාපනය ලබන්න, ආබාධිත වී ඉන්න අයට අවම වශයෙන් 10,000 සිට අමාරුම අය සොයා බලා වැඩි මුදලක් සහනාධාර  ලෙස ලබා දෙනවා. අපි ණයක් වෙන්න බය, ලැජ්ජා තිබුණු මිනිස්සු. අපි ගෞරවාන්විත විදිහට ගම්වල ජීවත්  වුණ මිනිස්සු. පාලකයන් තමා මිනිස්සු නැති බැරි කළේ. හාල් කිලෝ 10ට පොලිමේ ඉන්න සිද්ධ කළා. රනිල් වික්‍රමසිංහ කිව්වේ ‘ෆ්‍රී වයිෆයි’ දෙනවා කියලා. ‘ෆොක්ස්වැගන්’ ගේනවා කිවුවා. ‘බ්‍රේස්ලට්’ දෙනවා කිවුවා. අන්තිමේට හාල් කිලෝ 10ක් දුන්නා. මේ පාලකයෝ අපේ ආත්මගරුත්වය නැති කළා. අපේ කුඹුරුවල ලියැද්දක් විතර කුරුල්ලන්ටත් කන්න ඇරලා දුන්නා. අපි නෙළන අස්වැන්නේ පළමු කොටසින් දානය පන්සලට පූජා කළ මිනිස්සු. එහෙම අපිට අතපාන්න සිදුවෙලා තිබෙනවා. නැවත මේ ගම්වල ජනතාවගේ ආත්මගරුත්වය, පෞරුෂය, බලය ගෙනත් දෙන  ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපේ යුද්ධය වෙලාවේ විශාල වැඩ කොටසක් කළ සිවිල් ආරක්ෂක බලකායේ ඉන්න අයගේ තෘප්තිමත්භාවය ඇති කරන, ඔවුන්ගේ ශ්‍රමය රටේ ආර්ථිකයට උපයෝගී කර ගත හැකි විදිහටත් අපි සැලැස්ම හදනවා. අපි හැමෝම එකතු වෙලා, පොර බදලා මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුව හදමු. ඒ වෙනුවෙන් මැදිහත් වෙමු.”

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved