Connect with us

පුවත්

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩකරයි?

Published

on

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) තීරණය කලේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බවය

රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත්, ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මග පෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්ය.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛණ සහකාර සංගමයේ ලේකම් ඩී.එම්.එස්. දිසානායක ඇතුළු ලේඛණ සහකාරවරු 132ක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරුන් මේ බව අවධාරණය කලේය.

පෙත්සම්කරුවන් කියා සිටියේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියට තමන් 2005 වසරේ ජූලි මස 11 වනදා පත්වීම් ලැබූ බවය.

ඉන් අනතුරුව තමන්ව ලේඛන සහකාර දෙවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ විභාගයක් 2013 වසරේ පෙබරවාරි මස දෙවනදා පැවැත්වීමට දින නියම කර තිබූ බවත් ඉදිරිපත් වූ නිර්නාමික ලිපියක් පදනම් කරගෙන අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබූ බව පෙත්සමේ සඳහන් වේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නිර්ණාමික ලිපියක අන්තර්ගත තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් නොපවත්වා අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.

පුවත්

පළාත් ආයතන 263ක සභාපති පත් කරන්න ඡන්ද තියන්න වෙලා

Published

on

By

දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

අවසන් මැතිවරණ ප්‍රතිඵලය අනුව පළාත් පාලන ආයතන 339 න් සියයට 50 ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇත්තේ පළාත් පාලන ආයතන 76 ක පමණක් බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය ද (BBC) වාර්තා කර තිබේ. 

එබැවින් සෙසු පළාත් පාලන ආයතන 263 ම සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි පැවසේ. 

එහිදී නාමයෝජනා කැඳවා එක් නාමයෝජනාවකට වඩා ඉදිරිපත් වුවහොත් යම්කිසි අපේක්ෂකයකු සියයට 50 ක් ඡන්ද ලබා ගන්නා තෙක් ඡන්දය පැවැත්විය යුතු බව පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන්ය.

පළාත් පාලන ආයතනයක සභාපතිවරයා තෝරා ගැනීම සඳහා එම ආයතනයේ සභිකයන්ගේ කැමැත්ත පරිදි රහස් ඡන්දයක් පැවැත්වීමටද අවසර ඇති බව සඳහන්ය.

අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආයතන 265 කද සමගි ජන බලවේගය ආයතන 14 කද ජය හිමි කරගෙන තිබේ. 

දෙමළ ජාතික සන්ධානය ද සෙසු ස්වාධීන කණ්ඩායම් ද ඉතිරි ආයතන ජයගෙන ඇත. 

එහෙත් ඕනෑම ආයතනයක සභාපති ධුරයට පත්විය හැක්කේ බහුතර මන්ත්‍රීන්ගේ එකඟතාවයෙනි.

Continue Reading

ඡායාරූප සටහන

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් (ඡායා)

Published

on

By

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය  මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබේ.

එමෙන්ම මැයි මස 10වන දින සිට 16වන දින දක්වා වෙසක් සතියක්  ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමටද පියවර ගෙන තිබේ.

එසේම රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ජනතාව තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් සහ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින්ද විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම මෙන්ම ලෝකයේ බෞද්ධ රටවල් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ අරමුණු වේ.

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සෝමාවතී රජමහා විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නයද, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී  පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා සංඝරත්නයද, සර්ව ආගමික පූජකවරුන්ද,  කථානායක ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදෙස් නියෝජිතයන් ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ඉන්දියාව – පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

Published

on

By

ඉන්දියාව සහ පාකිස්තානය වහාම පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ.

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

මෙම සටන් විරාමට ඉන්දීය වේලාවෙන් අද ප.ව. 5.00ට ඇරඹුනු බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් – වික්‍රම් මිස්රි මහතා පවසා ඇත.මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහතා හා පකිස්තානු නියෝජ්‍ය අගමැති – ඉෂාක් ඩර් මහතා ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved