Connect with us

පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ස්ථාවරය

Published

on

Chandrika Bandaranayake Kumarathunga

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහාය පළ නොකර සිටිමට තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ජනාධිපතිවරණයේ දී තම ස්ථාවරය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විසින් විවිධ වාර්තා පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු කර ඇති බව කුමාරතුංග මහත්මිය කියා සිටියාය.

ඇතැම් ජනාධිපතිධුර අපේක්ෂකයින් විසින් අවස්ථා කිහිපයකදී සිය සහය ඉල්ලා සිටි බව ද ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කර ඇති බවට අදාළ සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දීමට ඇති බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

උපුටාගැනීම..!

2024 ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීමට මම කටයුතු කර නොමැති අතර, ඉදිරියේ දී හෝ එසේ කිරීමට මා තුළ බලාපොරොත්තුවක් නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මින් පෙර කිසිදාක, අප දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතභාවයකට සහ අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැත.

සියලුම ඡන්ද දායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී බැරෑරුම් ලෙස මෙම තත්ත්වය කල්පනා කළ යුතුව ඇත. පුද්ගලයා දෙස නොව, එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් සතු වැඩපිළිවෙළ හා ක්‍රියාපටිපාටින් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම භාරව සිටින පුද්ගලයින්ගේ ධාරිතාව පිළිබඳව ද මෙහිදී මැනවින් අවධානයට ලක්‌කළ යුතු යැයි මම යෝජනා කරමි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය(විශේෂයෙන් සුළු ගොවිතැන), සළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායන්, ප්‍රධාන කර්මාන්ත සහ අපනයන මෙන් ම වැවිලි කර්මාන්ත විවිධාංගීකරණය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම යන ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය.

අවංක සහ යහ පාලනය, රාජ්‍ය දූෂණය පිටු දැකීම මෙන් ම පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහතිකයක් ජනාධිපති අපේක්ෂකයන් වෙතින් ඉල්ලා සිටීමට ඡන්දදායකයින් වන අපට අනුලලංඝනීය අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඇතුළු රජයේ සියලුම ඉහළ තනතුරු සඳහා අවංකභාවයෙන් හෙබි කුසලතා සහ සුදුසුකම් පරිපුර්ණ පුද්ගලයින් පත් කිරීමයි. යහපාලනය සහතික කිරීම සඳහා අපගේ දේශයෙන් දුෂණය නැමැති ශාපය අතුගා දැමිය හැකි ආකාරයේ නීති, ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයයි.

ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ අවංකභාවය සහ වගවීම ඉල්ලා අදින් වසර දෙක හමාරකට පෙර, 2022 දී ඇරඹි දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් *රැඩිකල් ක්‍රම වෙනසක්* උදෙසා කළ ප්‍රබල ඉල්ලීම අප විසින් අමතක නොකළයුත්තේය.

යම් රජයක් පිහිටුවීම සඳහා පුරවැසියන් වසර පහකට වරක් ඡන්දය භාවිත කරන නමුත් එම වසර පහ තුළ රාජ්‍ය පාලනය පිළිබඳ කිසිදු පුරවැසි සබඳතාවයක් හෝ සහභාගීත්වයක් නොමැති වත්මන් ක්‍රමය හරහා මෙම අරමුණ ළඟා කරගත නොහැකි බව මම විශ්වාස කරමි.

අප රටේ ක්‍රම වෙනසක් ඇති කිරීම පිළිබඳ අපගේ සිහිනය සඵල කරගැනීමට එකම විසඳුම ආණ්ඩුකරණයේ දී තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ පුරවැසි සහභාගීත්වය ඇතුළත් රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීම බව

මාගේ විශ්වාසයයි. ඒ සඳහා *ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මහජන සභාවක්* ඇති කළ යුතු බවට මම යෝජනා කරමි. මෙම සභාව ආණ්ඩුව සමග සමාන්තරව ක්‍රියා කරමින්, යෝජිත සියලු රාජ්‍ය ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සමාලෝචනය කර එම සභාවේ අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර පාර්ලිමේන්තුවට මෙන්ම දිස්ත්‍රික් මහජන කමිටු වෙත වාර්තා කිරීමේ බලය ද මෙම සභාවට ඇත.

පහත සඳහන් සිදිල් සංවිධානවල නායකයින්ගෙන් මහජන සභාව සමන්විත වේ

සිවිල් සමාජීය සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංවිධාන, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ගුරු සංවිධාන, වෘත්තීය සමිති සහ ගොවි සංවිධාන, විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ සංවිධාන, කලාකරුවන්ගේ සංගම් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජයේ නායකයන්.

මෙහි මුළු සාමාජිකත්වයෙන් 40% තරුණයන් වන අතර 40% කාන්තාවන් වනු ඇත. මේ ක්‍රමවේදය මගින් මහජනතාවගේ නියෝජිතයන් හරහා ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ වඩාත් පුළුල් සහ සෘජු සහභාගීත්වයක් මහජනතාව වෙත ලැබෙනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ මහජන සහභාගීත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී පාලන ක්‍රමයක් වනු ඇත. මෙය දූෂණය සහ නාස්තිය අවම කිරීමට සහ රාජ්‍ය සේවයේ කාර්‍යාක්ෂමතාව ඉහළ නැංවීමට ඵලදායී විසඳුමක් ද වනු ඇත.

*අප දේශයේ අනාගතය රැඳී ඇත්තේ ඔබ මතය*.

ඉහත ඉදිරිපත් කර ඇති යෝජනාව කෙරෙහි බැරෑරුම් ලෙස මෙනෙහි කරන ලෙසත්, අඳුරු අනාගතයක එළිපත්තේ ඇති අප දේශය නැවත වරක් ප්‍රබුද්ධ හා ශ්‍රේෂ්ඨ දේශයක් ලෙස නැඟී සිටීමටත් ඔබේ වටිනා ඡන්දය භාවිත කරන ලෙස මගේ සහෝදර පුරවැසි ප්‍රජාවගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

උපුටාගැනීම අවසන්..!

පුවත්

දත්ත වංචා චෝදනා ඇති “එපික්”හි මෘදුකාංග පාස් පෝට් ඔෆිස්එකෙන් අයින් කරන්න නඩුවක් දාලා

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ විද්යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා එපික් ලංකා සමාගමේ මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූනි 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය ඉකුත් 08දා නියෝග කළේය.

මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ සමනවිත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තර කරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන්ට නොතිසියැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාරිශ්‍රවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්හ. 

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස එපික් ලංකා සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තරකාර එපික් ලංකා සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගය ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම විද්‍යුත් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සඳහා මේ වනවිටත් යොදා ගන්නා බවයි. 

ඉකුත් කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හරහා දත්ත වංචාවක් සිදු වී ඇති බවට කරුණු වාර්තා වී තිබුණු බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

එම වාතාවරණය හමුවේ වග උත්තර කාල සමාගමේ තවදුරටත් භාවිතා කිරීම තුළින් දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එබැවින් මෙම කටයුතු සඳහා අදාළ මෘදුකාංගය භාවිතා කිරීම වළක්වාලන හතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටියේය.

මේ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ පෙත්සම්කරු වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව එම නඩුව විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණ මාධ්‍යට මෙසේ අදහස් දැක්වීය.

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හරහා සිදු වූ දත්ත වංචාව සහ ඊට සමගාමිව මේ රටේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී පාස්පෝර්ට් සදහා වන ටෙන්ඩරය ලබා දීමේ ප්‍රමාදය සහ එම මෘදුකාංග පද්ධතිය නිසි පරිදි රජයේ භාරයට පත් කර නොගැනීම සම්බන්ධයෙන් තමයි අපි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ. මිට පෙර ටෙන්ඩරය ලබා දුන් සමාගමම එම මෘදුකාංගයේ අයිතිය තහවුරු කර ගනිමින් ඒ සම්බන්ධ වන ගාස්තු අය කර ගැනීමට කටයුතු කිරීම නිසා මේ රටේ සාමාන්‍ය මහජනතාවට විදේශ ගමන් බලපත්‍රයක් සදහා ගෙවන්න වෙන මුදල වගේ විශාල මුදලක් පසුගිය කාලයේ දිගින් දිගටම ගෙවන්න සිද්ද වුනා. ඒ වගේම ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න සහගත සමාගමකට එකවර ටෙන්ඩර් ලබා දීම නිසා ඊට වඩා අඩු මුදලකට සහ වැඩි ප්‍රතිලාභ සහිතව විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න තියෙන අවස්තාව අහිමි වුනා. නව රජය බලයට පත් වුණත් මේ පිලිබදව දිගින් දිගටම ගැටළු මතු වුණා. මිට පෙර කවුරුන් හෝ කෙනෙක් පාස්පෝර්ට් ටෙන්ඩරය ලබා දීමේදී මේ රටේ මහජනතාවට අවාසියක් වන විදියට කටයුතු කිරීම ගැන රජයටත් අපි කියනවා අපි අධිකරණ ක්‍රියමාර්ග ගන්නා අතරතුර මේ පිළිබද පසු විපරමක් කරලා කරුණාකරලා නිවැරදි ප්‍රසම්පාදන යටතේ මිල අඩු සමාගමකට අවස්ථාව ලබා දෙන්න ඕන.

ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාවේදී දත්ත පරිපාලනය කල සමාගමටම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පරිපාලනය කරන්න අවස්තාව ලබා දීම ගැන නැවත පසුවිපරමක් කරලා කරුණාකරලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ රටේ මහජනතාවගේ දත්ත පරිගණකගත කිරීමේ අයිතිය අනිවාර්යෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ භාරයට අරගෙන අපේ රටේ ජනතාවගෙන් පාස්පෝර්ට් එකක් ගන්න විට ඒ සදහා අමතරව අය කරන මෘදුකාංග ගාස්තුව අය කර ගැනීම අත්හිටුවන්න කියලා එම දෙපාර්තමේන්තුවෙන් සහ විෂය භාර ඇමතිගෙන් ඉල්ලනවා.”

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩුවට මහ ආණ්ඩුවෙන් මුදල් නැහැ – IMF කොන්දේසියක්

Published

on

By

පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා මධ්‍යම රජයෙන් ලැබෙන අරමුදල් 2028 වසරේදී නතර කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි අනුව මෙසේ පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන අරමුදල් 2028 වනවිට නතර කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය පැවැසුවාය.

පළාත් පාලන ආයතනවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවීම සහ අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා මේ වනවිට මුදල් වෙන්කරනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපාදන මගිනි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට අයවැය මගින් මෙම මුදල් වෙන්කරන අතර පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වෙත අදාළ අරමුදල් ලැබේ.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ණය ගෙවීම් ආරම්භ වන 2028 වසරේ සිට පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් නොලැබී යනු ඇතැයි අනාවරණය වේ.

2028 වසරේ සිට පළාත් පාලන ආයතනවල පුනරාවර්තන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීම් නතර කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර දැනුම් දී තිබෙන බවත්, ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේය.

කෙසේ වෙතත් අවසන් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණ කළ සාකච්ඡාවලදී මේ පිළිබඳ අවධානය යොමු නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

 තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ සිද්ධියකට “ටීචර් අම්මා” පොලිසිය සොයයි

Published

on

By

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඇයගේ ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධියට මුහුණදුන් තරුණයා පොලීසියට පවසා ඇත්තේ සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ටුවකට අදාළව ගුරුවරිය ඇතුළු කිහිපදෙනෙකු විසින් තමන්ට පහර දුන් බවයි. 

එසේම, හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති බවද පැවසේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ එම තරුණයා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

චෝදනාවට ලක්ව සිටින ටීචර් අම්මා නමැති අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවස සහ උපකාරක පන්ති පවත්වන ස්ථානය පරික්‍ෂා කළද එම ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ තරුණායට පහරදීමේ සිද්ධියට ඇයගේ සැමියා හා ඇයගේ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහිදී අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා‘ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved