Connect with us

පුවත්

ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ගැන අනාවරණයක්

Published

on

ලංකාවේ ලොකුම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන්නේ, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමාගම් සමඟ එකතු වී සෞඛ්‍ය ලේකම්ගේ තීරණ වෙනස් කිරිමට තරම් මෙම මාෆියාව විශාල වී ඇති බව අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියේය.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය කරනවා යැයි බොහෝ අය සිතා සිටියද සෑබෑවින්ම සිදු වන්නේ වැඩිපුර ලේබල් ගහන එක පමණක් බව ඔහු සඳහන් කලේය.

රවි කුමුදේශ් මහතා මෙහිදී කියා සිටියේ ඖෂධ සංස්ථාව වසරකට ඇනවුම් තුන්සියයක් පමණ භාරගත්තද එහි දෙසීයකට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලින් ගෙන ලේබල් අලවන ඒවා බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකරමින් කියාසිටියේ,

“ දේශීය නිෂ්පාදකයන් කැඳවලා සෞඛ්‍ය ලේකම්වරයා ගත්ත තීන්දුවල සාධනීය බවක් තිබෙනවා. දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා සමාගම් අතර තරගයක් ඇති කරන එක සියලු සෞඛ්‍ය පරිපාලකයන්ගේ වගකීමක්. ඒක ඉටු කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ හරහා මේ වසරට පමණක් සෞඛ්‍ය ලේකම්වරයා බිලියන 16ක පමණ ඉතුරුවක් කරලා තිබෙනවා. ඇතැම් අය මේක විවේචනය කරමින් කියන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පගා ගහපු බවක්. නමුත් එක ඖෂධයකවත් මිල වැඩි නොකර, සමස්ත වියදම විශාල ප්‍රමාණයකින් අඩු කර ගත්ත තීරණයක් හරහා පගා ගහන්නේ කොහොමද. පගා ගැහුවත් ඒක ජනතාවට අවාසි නැහැ. ඖෂධවල ගුණාත්මක තත්ත්වය වැඩි කිරීමට සහ වැය බර අඩු කිරීමට ලොව පුරා අනුගමනය කරන එකම ක්‍රමය සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමයි. ඖෂධ මාෆියාව කියන්නේ, ඒකට විරුද්ධව ඒකාධිකාරය සාදා ගැනීම සඳහා නිලධාරීතන්ත්‍රය සහ නියාමන ආයතන හසුරවා ගැනීමයි. ඖෂධ මාෆියාව ස්ථාවර කරන්න සමහර අය නොදැනුවත්ව කතා කරන බව පේන්නට තිබෙනවා. දේශීය සමාගම්වල මිල තීරණය කිරීමේදී සුපිරි සමාගම් වලට එක මිල කමිටුවක් සහ එහෙම නොවන සමාගම් වලට තව මිල කමිටුවක් ඇති කිරීම 2017 වර්ෂයේ දී ගත්ත වැරදි තීන්දුවක්. දේශීය සමාගම් රැක ගැනීම සඳහා ආරම්භක සමයේදී එය අවශ්‍ය වුණත්, දැන් ඔවුන් වෙළඳපොළ තරඟයට මුහුණ දිය හැකි තරමට වැඩි දියුණු වී සිටිය යුතුයි. ඔවුන්ට වැඩි මිලක් තීරණය කරන්නට ඉඩ ලබා දී, මහජනතාවට අවාසී කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළ යුතුයි. අභිලාෂ කැඳවීම හරහා සෞඛ්‍ය ලේකම්වරයාගේ නව තීරණයට පෙර, පසුගිය වසර තුළ මීට සමාන ඖෂධ ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා බිලියන 54ක පමණ මුදලක් වැය කර තිබෙනවා. මෙම නවතීරණය සමඟ ඒ සඳහා වැය වන්නේ බිලියන 38කට වඩා අඩු ප්‍රමාණයක්. රුපියල් 12000/- ක පමණ මිලකට සැපයූ ඇතැම් ඖෂධ, මෙම නව තීරණයත් සමඟ රුපියල් 750ක වැනි මුදලකට සැපයීමට ඇතැම් සමාගම්වලට සිදුවෙලා තිබෙනවා. සියලුම ඖෂධ කලින් වසරේ ගත් මිලට වඩා අඩු මිලට ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම නව තීරණය හේතුවෙලා තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ වෙනස් විය යුතු තීරණයක්, වෙනස් කරන්නට යන මොහොතේ සියලු දෙනාගේ සහයෝගය ඊට ලැබිය යුතුයි.මොන ජනාධිපතිවරයා පත්වුණත්, මෙම තීරණය ලංකාවේ ඖෂධ මාෆියාව වැළැක්වීම සඳහා ගතයුතු තීරණයක් වන බැවින්, දේශපාලනික කාරණාවක් ලෙස ඊට බාධා නොකරන ලෙස, අපි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා”

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved