Connect with us

පුවත්

පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Published

on

බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2023 වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණවලින් වඩාත් පීඩාවට පත් වූවන්ට සහන සලසන අතරම මූල්‍ය වගකීම් පවත්වා ගැනීම මෙම බදු ගැලපීම් සිදු කිරීමේ අරමුණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව, පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා යෝජිත සංශෝධන,  අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ඉදිරිපත් කර තිබේ. 2022 වසරේ මැද භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ, රටේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පුළුල් උපාය මාර්ගයේ අංගයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ, 2025 වසර අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි. මෙම ඉලක්කයට ළඟාවීම සඳහා 2025 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු බදු ආදායමක් අවශ්‍ය වේ.

මූලික ප්‍රතිසංස්කරණ සඳහා වසරකට රුපියල් මිලියන 1.2 බැගින් වූ බදු රහිත සීමාවක්, රුපියල් 500,000 බැගින් වූ බදු පරාසයන් සහ බදු අනුපාතය 6% ක අවමයක් සහ 36%ක උපරිමයක් ඇතුළත් විය. කෙසේ වෙතත්, විශේෂයෙන් මධ්‍යම ආදායම් ලබන්නන් සඳහා සහන ලබාදෙන ලෙස ඉදිරිපත් කල ඉල්ලීම් අනුව, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක සපුරාලීමට පටන් ගත් 2024 මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ පිළිබඳ නැවත සාකච්ඡා වල නිරත වීමට රජය කටයුතු කළේය.

ඒ අනුව බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා ඉහළ නංවන අතර, බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2 ක් ලෙස තබා ගැනීම සහ ඉහළම බදු අනුපාතය වන 36% ඇතුළුව සෑම මට්ටමකම ආන්තික බදු අනුපාත පවත්වා ගැනීමට රජය යෝජනා කර තිබේ. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සිදු කරන සංශෝධනවලින් අනතුරුව මෙම ගැලපීම 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

බදු බර වැඩි වශයෙන් ප්‍රකාශිත  බදු තීරුවල මධ්‍යයේ සිටින පිරිසට සහන සැලසීම මෙම බදු ගැලපීම මගින් අවධානය යොමු කර තිබේ. නිදසුනක් වශයෙන්, මසකට රුපියල් 150,000 ක ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් අය කළ බදු මුදල 14% කින් අඩුවන අතර ඉහළ ආදායම් ලබන්නන්ට වඩාත් සීමිත සහනයක් හිමිවේ.

මෙම ගැලපුම මගින් මෙරට සමස්ත ආදායමට ඇතිවන බලපෑම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.07%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2025 දී වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් ලැබෙන ආදායම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සහනය සැලසීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේ.

යෝජිත සංශෝධන මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විශේෂයෙන්ම මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා සහන සලසන ලෙස ජනතාව සිදු කළ ඉල්ලීම ඉටුවන බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

(ජනාධිපති  මාධ්‍ය අංශය)

පුවත්

ජ’පුර නේවාසිකාගාරයකට හානි කළ සිසුන් 10කගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන!

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ  සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට  අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී  (කෝප්) අනාවරණය විය.

එම හානිවූ , විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක්  නිත්‍යානුකුලව අය කරගෙන ඊට අමතවර  25% අධිභාරයක්ද සිදුකර ඇති බව කාරක සභාව පෙන්වා දෙන ලදී. ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව  අයකිරීම් වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැන්වූයේය.

ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක  සිසුන්ට පමණක්  මෙ‍ෙලස දඩ අයකිරීම කෙතරම් සාධාරණද  යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද  කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පැවසුවේය.

මෙම කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ 2022, 2023   වර්ෂයන්හි  විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කාර්යමණ්ඩල සංයුතිය ,මුල්‍ය තත්ත්වය, ඉදිකිරීම් වල පැවති  සහ පවතින තත්ත්වයන් හා ශිෂ්‍යයන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අතර පවතින සම්බන්ධතාව  තවදුරටත් ශිෂ්‍ය හිතකර මට්ටමින් පවත්වා ගැනීම යන කරුණු  පිළිඳව මෙදින කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ පුර්ණකාලීන තනතුරක් වන මුල්‍යාධිකාරි තනතුරෙහි කටයුතු කරන මුල්‍යාධිකාරිවරිය පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට නිදහස්  කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක ද වැඩකටයුතු  සිදුකිරීම  සඳහා මෙම මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබෙන බව ලේඛකාධිකාරීවරයා පැවසුවේය. අමාත්‍යාංශයෙන් හෝ නොවිමසා එලෙස පුර්ණකාලීන තනතුරක සේවයෙහි නිරත පුද්ගලයෙක් නිදහස් කිරීමට තීරණය කිරීම ගැටලු සහගත බව කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන්  පෙන්වා දුන්හ.

විශ්වවිද්‍යාලයේ සේවා කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි සේවය කිරීමට එලෙස මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබු බව මෙහිදී  අදහස් දක්වමින් ලේඛකාධිකාරීවරයා පැවසුවේය. කෙසේ වතත් අදාළ  මුල්‍යාධිකාරිවරිය ලබාගෙන ඇති නිවාඩු දිනගණන් පිළිබඳව සභාපතිවරයා,  කාරක සභාව  දැනුවත් කළේය. තවද   ඇයගේ 2024 වසරේදී   දින 44ක  පැමිණීමේ සහ  පිටවීමේ  සලකුණු සටහන් නොවීම සම්බන්ධයෙන්  එය නිවරදි කරදෙන ලෙසට ලේඛකාධිකාරී වරයාගෙන් කළ ඉල්ලීමට ඔහු විසින් අනුමතිය ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය විය.

තවද ව්‍යාපෘති කළමනාකාර තනතුර ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ ඉල්ලුම්පත්‍ර කැඳවීමකින් තොරව,නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ  දීර්ඝ ලෙස සාකච්ඡා විය.

ඒ අනුව කාර්යමණ්ඩල නව බඳවාගැනීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබදව සොයාබලා වාර්තාවක් සකස්කිරීමට කාරක සභා සභාපතිවරයා විසින්  අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

තවද විශ්වවිද්‍යාලයේ  ගිණුම්වල තැන්පත් මුදල් පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ අනුව එහිදී  2024 බාහිර විභාග ඒකකයේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සිසුවෙකුගෙන් රු. 10,500/-ක මුදලක් අයකරගෙන තිබුනද උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු  රුපියල් ලක්ෂ 53කට වැඩි මුදලක් ඉතිරිවී තිබීම  පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව මෙම අයකිරීම සිසුන්ට දරාගත හැකි අයුරින් තීරණය කිරීමට ද කාරක සභාව, නිලධාරීන්ට උපදෙස්  ලබාදෙන ලදී. කෙසේ වෙතත් මේ වසරේ සිට උපාධි ප්‍රධානෝත්සවයන් සඳහා අය කරනු ලබන මුදල් අඩු කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් කාරක සභාවට දැන්වුහ.

මේ අතර  විශ්වවිද්‍යාලයේ  ගොඩනැගිලි හා ඉදිකිරීම් වල පැවති සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද කරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර,නීතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

නෙළුම්වැව උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කරන්න සැලසුම්

Published

on

By

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් සකස් කර ඇත.

මීට අදාළ සාකච්ඡාවක් අද (24) දින පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. 

මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දක්වන උනන්දුව අඩු වීමට හේතුවක් වී තිබිණි.

මෙම සාකච්ඡාවේදී නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි ඇති සංචාරක සහ තාක්ෂණික විභවතාව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.

උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශයේ වන ගහනය වැඩි කිරීම, දූපත අලංකරණය සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමට පහසු වන ආකාරයට ගොඩබිමේ සිට දූපත දක්වා පාලමක් ඉදිකිරීම ආදී කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක් විය. 

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්,  වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්. වසන්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය භූගත ජලවිද්‍යාඥ ධර්ම ගුණවර්ධන යන මහත්වරු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා තවත් ආයතන කිහිපයක නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

Published

on

By

නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් කටයුතු කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බැවින් නවකවදය පමණක් නොව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්ය සාධක බළකායේ අරමුණ වී ඇති බවය.

ඒ අනුව එම කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබේ.

1. මහාචාර්ය කේ.එල්.වසන්ත මහතා – උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
2. මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය – අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
3. මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
4. මහාචාර්ය විජය ජයතිලක මහතා – CGEE ආයතනයේ හිටපු සාමාජික
5. ආචාර්ය සයුරි පෙරේරා මහත්මිය – මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
6. ශානිකා මලල්ගොඩ මහත්මිය – ජාතික ළමාරක්ෂක අධිකාරිය
7. අප්සරා කල්දේරා මහත්මිය – අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය
8. ගුණදාස සමරසේකර මහතා – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය
9. ආචාර්ය චින්තක පෙරේරා මහතා – අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය
10. ඒ.ජී.ඒ.ජාලිත කුමාර මහතා – අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15
11. ජේ.පී.විජයතිලක ජයසිංහ මහතා – කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය
12. ඩබ්.ඒ.ඒ.වේරහැර මහතා – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය
13. කවිදු බිම්සර මහතා – ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.
14. සජිනි වත්සලා මෙනෙවිය – ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.
15. පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
16. නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

මෙරට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීම, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම, ඊට අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීම සඳහා යෝජනා සකස්කිරීම, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම, සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අදාළ ක්‍රමවේද සැකසීම, යන අරමුණු වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධ කරගැනීම, වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වින්දිතයින්ට සිදුවූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් යථා තත්වයට පත්කරලීම සඳහා අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම වැනි කාර්යන් මෙම කාර්ය සාධක බළකාය හරහා සිදුකිරීමට අපේක්ෂිතය. 

සිදුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා නොවී හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් උසස් අධ්‍යාපන ආයතන තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ආදී වැඩසටහන් ජාතික වැඩපිළිවෙළකට අනුව සංවිධානය කිරීම වැනි කරණුද සැලකිල්ලට ගනිමින් ඉහත අරමුණු පෙලගස්වා ඇත.

ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved