Connect with us

පුවත්

“මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා”

Published

on

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් මඟින් දැනුම්දිමක් සිදු කර තිබේ.

එම ලිපියෙන් තරිඳු ජයවර්ධන පෙන්වා දි තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනට සක්‍රීය තත්ත්වයේ පවතින එකම පැමිණිල්ල වන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 34097/2024 ට අදාලව කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

තවද මෙම ප්‍රහාරයට අදාලව මා විසින් කරුණු හෙළිදරව් කිරීම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් බවට විශ්වාස කරන බවද මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යොමු කළ ලිපියේ සඳහන්ය.

මෙම පැමිණිල්ල මෙන්ම එම විමර්ශනය ද තනිකරම දේශපාලන උවමනාව මත කුමන්ත්‍රණකාරීව සිදුවන සිදුවීම් දාමයක එක් කරුණක් පමණක් බව සිය ලිපියෙන් පෙන්වා දෙන තරිඳු ජයවර්ධන නිසි විමර්ශනයකදී මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමේ හැකියාව පවතින බව සඳහන් කර තිබේ.

එහිදි ඔහු පෙන්වා දෙන්නේ මෙම සිදුවිම සම්බන්ධයෙන් පාලිත සිරිවර්ධන විසින් පැමිණිලි කිරීම, එම පැමිණිල්ල විමර්ශනය කරවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලවා ඉන්දුක සිල්වා වෙත යොමු කිරීම පවා අහඹුවක් නොව කුමන්ත්‍රණකාරීව සිදුවූ සිදුවීම්දාමයක් බවය.

ඉන්දුක සිල්වා නිලධාරියා මෙහෙයවනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටින් සිටින පිරිසක් විසින් බවද සිය ලිපියෙන් තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.

මේ හේතුවෙන් කුමන්ත්‍රණකාරී ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ වෑයම නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙස මෙන්ම මෙම නීති විරෝධී විමර්ශනය සිදුකරන ඉන්දුක සිල්වාට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසත්, ආරක්ෂාව තහවුරු සහ සහතික කරන ලෙසත් සිය ලිපියෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගෙන් ඉල්ලා තිබේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකළ ලිපිය,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

වැඩබලන පොලිස්පතිතුමනි,

කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ගැන දැනුම්දීම

තරිඳු ජයවර්ධන (තරිඳු ඉරංග ජයවර්ධන) වන මම 2011 වසරේ සිට ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමි. 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා දින සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට අදාල යැයි පසුව තහවුරු වූ වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම (2018 නොවැම්බර් 30) ඇතුළු සිදුවීම් සම්බන්ධයෙනුත් මම 2018 වසරේ සිටම වාර්තා කර ඇත්තෙමි.

එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 34097/24 අංක යටතේ ඇති දැනට පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයක පවතින සක්‍රීය එකම පැමිණිල්ලට අදාලව 2024 ඔක්තෝබර මස 09 වැනිදා මට එරෙහිව කරුණු වාර්තාකරමින් නියෝගයක් ඉල්ලා තිබිණි.

එහි මෙසේ ද තිබෙන බවට වාර්තා විය.

‘‘මෙම සිද්ධියට සම්බන්ධයෙන් මාධ්‍යවේදි තරිදු ජයවර්ධන විසින් MediaLK නැමති Youtube මාධ්‍ය ජාලය මගින් මෙම විමර්ශනයට භාදා වන ආකාරයෙන් සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් විඩියෝ දර්ශන දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලය තුළින් සමාජයට මුදාහැර ඇති බැවින් ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනතාවද නොමග යවන කරුණු ජනගත කිරීම සිදුකරන බව ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරනු ලබන අතර මාධ්‍යවේදි තරිදු ජයවර්ධන විසින් 2024.10.03 වන දින සිදුකරන ලද විඩියෝ පටයේ පහත සදහන් කරුණු අන්තර්ගතව ඇති බව වාර්තා කරමි.

MediaLK Youtube නාලිකාවෙන් මාධ්‍ය වේදී තරිඳු ජයවර්ධන විසින් සමාජ මාධ්‍යට මුදා හරින ලද විඩියෝ දර්ශනයේ ඇතුලත් ප්‍රකාශය ‘. ………….. ‘

ඉහත සදහන් ප්‍රකාශය සිදුකිරිමෙන් මොහුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් මෙම සිද්ධියට අදාල ඉදිරි විමර්ශන කටයුතු වලට දැඩි ලෙස හානියක් හා විශාල බලපෑමක් සිදුව ඇති බව ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සදහා මෙම අසත්‍ය කරුණු ප්‍රකාශය තුළින් මෙම විමර්ශන කටයුතු සදහා බලපෑමක් සිදුවන බව වාර්තා කරමින් මෙම මාධ්‍යවේදි තරිදු ජයවර්ධන යන අයට එරෙහිව ගරු අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ඉහත කරුණු ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරනු ලබන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ප්‍රගතිය වාර්තා කිරිම සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.’’

පාස්කු ප්‍රහාරයට අදාලව මවිසින් පසුගිය කාලයේ වාර්තා කළ/ හෙළි කළ තොරතුරු හේතුවෙන් කුමන්ත්‍රණකාරීව මා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක කොටසක් ලෙස මෙම කරුණු වාර්තා කිරීම සිදු කර තිබෙන බව මම විශ්වාස කරමි.

මෙම ඉන්දුක සිල්වා නම් නිලධාරියාට එරෙහිව එල්ල වී තිබූ බරපතල චෝදනා හමුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සිටි නිලධාරියකු වන අතර ඔහු නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කඳවනු ලැබුවේ 2019 නොවැම්බර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ඇතිවූ වෙනස්කම් සමගය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහු මිනීමරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ අතර සාරා ජස්මින් සම්බන්ධ සිදුවීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා බාර දී තිබුණේ ඔහු වෙතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කරන කාලයේ දිනෙක දී මම මාගේ මූලාශ්‍රකරුවකු (ජනමාධ්‍ය ආචාරධර්ම අනුව මූලාශ්‍රකරු හෙළි නොකරමි) මුණගැසීම සඳහා ගිය අතර එලෙස යන විට ඉන්දුක සිල්වා නිලධාරියාද එහි ගොස් සිටියේය. ඉන් අනතුරුව ඔහු එතැනින් පිටව ගිය අතර මාගේ මූලාශ්‍රකරු සමග සාකච්ඡා කර මම එතැනින් පිටතට පැමිණෙද්දී ඉන්දුක සිල්වා එම ස්ථානය ඉදිරිපිටට වී සිටියේය මම පිටවී යද්දී ඔහු අසලට ගොස් මා පිටවී යන බව ප්‍රකාශ කළෙමි. එවිට ඔහු ‘අපි ශානිලට හොඳ වැඩක් කරමු.’ යනුවෙන් සඳහන් කළ අතර මම ඔහුගෙන් ඒ ගැන වැඩිදුර විමසුවෙමි. ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කළේ තමන් විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත නිර්ණාමික පෙත්සම් යොමු කර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා (එවකට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ සම්බන්ධීකරණ නිලධාරී) හරහා ඒවා පොලිසියට ලැබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු බව තමා විසින්ම ඒ්වා විමර්ශනය කරන බවයි. එම විමර්ශන අනුව ශානි අබේසේකර සිර කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය. මා එම අවස්ථාවේදී ‘ඔයා පෙත්සම් ගහලා ඔයාම ඒ් පෙත්සම් විමර්ශනය කරනවද? මොන ලැජ්ජා නැති වැඩක්ද? ඔයාලා ඔය ඉල්ලං කන්නයි හදන්නේ.’ යනුවෙන් ප්‍රකාශ කළෙමි.

ඉන්දුක සිල්වාගේ මේ ප්‍රකාශයේ බරපතලකම හේතුවෙන් මම එදිනම ශානි අබේසේකර මහතා මුණ ගැසීමට ගොස් නිර්ණාමික පෙත්සම් ගෙන්වාගෙන ඉන්දුක සිල්වා නීති විරෝධී විමර්ශනයක් කරන හෙයින් සැලකිල්ලෙන් සහ ප්‍රවේශමෙන් සිටින ලෙස අබේසේකර මහතාට දැනුම් දුන්නෙමි. මාගේ මූලාශ්‍රය හෙළිදරව් වන නිසා ඉන්දුක සිල්වා මුණගැසුණු ස්ථානය මම අබේසේකර මහතාට හෙළි නොකළෙමි.

එතැන් සිට අවස්ථා ගණනාවකදී ඉන්දුක සිල්වාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මම මාධ්‍ය සාකච්ඡාවලදී/වීඩියෝ වැඩසටහන්වලදී ඉදිරිපත් කර ඇත්තෙමි.

පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීට පෙර ඉවත් කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ එවකට කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධනට එරෙහිව නීති විරෝධී කැනීමක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ලැබුණු පැමිණිල්ලක් හරිආකාරව විමර්ශනය නොකර පාලිත සිරිවර්ධනට පක්ෂපාතීව විමර්ශන සිදු කිරීමය. (අදාල කැණීම් සිද්ධිය ගැන උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාර්තාව ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරමි). ඒ් අනුව ඔහු (ඉන්දුක සිල්වා) ඉවත් කර වෙනත් නිලධාරියකුට විමර්ශන පැවරුණු අතර (ඊට අදාල ලිපිය ඇමුණුම 02) එම සිදුවීමෙන් පසු පාලිත සිරිවර්ධන මහතාගේ ද සහයෝගයෙන් ඉන්දුක සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කළේය. ඉන්දුක සිල්වාගේ ක්‍රියාකලාපය ගැන විවෘත අධිකරණයේදී දෝෂාරෝපණයට ලක්විය.

එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටියදී ඉන්දුක සිල්වා සහ පාලිත සිරිවර්ධන යන දෙදෙනා ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් සාකච්ඡා කර තිබිණි. (ඒ බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියද වාර්තා කළේය. )

පාලිත සිරිවර්ධන මහතාට පක්ෂපාතීව කටයුතු කළැයි චෝදනා එල්ලවන සහ පාලිත සිරිවර්ධන මහතා සමග සමීපව කටයුතු කර බවට ප්‍රසිද්ධ ඉන්දුක සිල්වා නිලධාරියා විසින්ම පාලිත සිරිවර්ධන විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමම බව ලබැඳියාවන් අතර ගැටුමක් ඇති කරයි.

ඉන්දුක සිල්වා නිලධාරියාට එරෙහිව ඔහුගේ බිරිඳ පවා පැමිණිලි කර තිබෙන අතර එම පැමිණිල්ලේ පිටපතක් ඇමුණුම 03 ලෙස මේ සමග ඉදිරිපත් කරමි.

එසේම ඔහු පුද්ගලයන්ට එරෙහිව ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කළැයි තහවුරු වීම මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නුසුදුසු යැයි යෝජනා වූ නිලධාරියකු වන අතර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නුගේගොට කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා යොමු කළ වාර්තාවක් ඇමුණුම 04 ලෙස මේ සමග ඉදිරිපත් කරමි.

මෙවැනි පැමිණිලි නිසා ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන නිලධාරීන් දෙදෙනා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර 2019 ආණ්ඩුමාරුවත් සමග ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු විමර්ශනත්, ශානි සහ රවී සෙනවිරත්න යන දෙදෙනාට එරෙහි විමර්ශනත් සිදු කිරීම කරගෙන ගියේය. ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන දෙදෙනා 2021 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක ඉන්දුක සිල්වාද වගඋත්තරකරුවකු වන අතර ඉන්දුක සිල්වා මහතා රවී සෙනවිරත්නට සහ ශානි අබේසේකරට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකිරීමම ලබැඳියාවන් අතර ගැටුමකි.

මෙවැනි කරුණු ගැන පසුගිය කාලයේ මා දිගින් දිගටම අනාවරණය කළ අතර පාස්කු ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය යටපත් කිරීම සඳහා 2019 ආණ්ඩු මාරුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ගත් නීති විරෝධී ක්‍රියා රැසක් මම පසුගිය කාලයේ අනාවරණය කළෙමි. එහිදී ඉන්දුක සිල්වා නිලධාරියා ගැනද කරුණු ඉදිරිපත් කළෙමි. එසේම හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේස් සලේ සම්බන්ධයෙන් ද කරුණු ගණනාවක් අනාවරණය කළෙමි.

මේ හේතුවෙන් පාස්කු ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් උසාවියක දැනට සක්‍රීය තත්ත්වයේ පවතින එකම පැමිණිල්ල වන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 34097/2024 ට අදාලව කුමන්ත්‍රණකාරී ලෙස මා අත්අඩංගුවට ගැනීමේ තැතතක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙය හුදෙක් මෙම ප්‍රහාරයට අදාලව මා විසින් කරුණු හෙළිදරව් කිරීම වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් බව මම විශ්වාස කරමි. මෙම පැමිණිල්ල මෙන්ම එම විමර්ශනය ද තනිකරම දේශපලන උවමනාමත කුමන්ත්‍රණකාරීව සිදුවන සිදුවීම් දාමයක එක් කරුණක් පමණක් වන අතර නිසි විමර්ශනයකදී මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදව් කිරීමේ හැකියාව පවතින බව ද සඳහන් කරමි. විශේෂයෙන්ම පාලිත සිරිවර්ධන විසින් පැමිණිලි කිරීම, එම පැමිණිල්ල විමර්ශනය කරවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂලවා ඉන්දුක සිල්වා වෙත යොමු කිරීමම පවා අහඹුවක් නොව කුමන්ත්‍රණකාරීව සිදුවූ සිදුවීම්දාමයකි. ඉන්දුක සිල්වා නිලධාරියා මෙහෙයවනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටින් සිටින පිරිසක් විසිනි.

එසේ හෙයින් කුමන්ත්‍රණකාරී ලෙස මා අත්අඩංගුවට ගැනීමේ වෑයම නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙසත්, මෙම නීති විරෝධී විමර්ශනය සිදුකරන ඉන්දුක සිල්වාට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසත්, මාගේ ආරක්ෂාව තහවුරු සහ සහතික කරන ලෙසත් ඉල්ලා සිටිමි.

තරිඳු ජයවර්ධන
සංස්කාරක
Media LK

පිටපත්
1) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී.දෙහිදෙණිය මහතා – සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
2) ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක මහතා, සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.
3) සුහද ගම්ලත් මහතා, සභාපති, සාක්කිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved