පසුගිය 19 වැනිදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ඇරඹුනු නවවැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හෙට (24) අවසන් වේ.
“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව මෙවර එක්වූයේ ‘ගෞරවනීය ආරාධිත රට’ ලෙසයි.
චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි. මේ හේතුවෙන් දකුණු ආසියානු කලාපය තුළ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවටද ශ්‍රී ලංකාව පත්ව ඇත.
චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතින් විවෘත කෙරුණි.
මෙම ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාව හට හිමිවූ සුවිශේෂී ස්ථානය හා ඉන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි ප්රතිලාභ පිළිබඳව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙනුවෙන් ජ්‍යේෂ්ට මාධ්‍යවේදී හා දේශපාලක විචාරක කුසල් පෙරේරා මහතා හා චීනයේ CGTN රූපවාහිනියේ ලී චියුයුවැන් මහත්මිය අතර කෙටි කතාබහක් පසුගියදා සිදුවිය.
මෙහිදී පෙරේරා මහතා පවසා තිබුණේ මෙම වේදිකාවෙන් ප්‍රයෝජන ගෙන චීනය හා ද්වීපාර්ශ්වික වෙළඳ කටයුතු වර්ධනය කිරීම සඳහා, තේ වැනි සාම්ප්‍රදායික අපනයන නිෂ්පාදන වලින් ඔබ්බට ගොස් අපනයන නිෂ්පාදන විවිධාංගිකරණයට ලක් කළ හැකි ආකාරය පිළිබඳව යළි සිතා බැලිය යුතු බවයි.
මෙම වේදිකාවේ පිළිඹිබු වන බලශක්ති පරිවර්තනය හා ඩිජිටල් ආර්ථිකය වැනි නැගී එන ක්ෂේත්‍ර අතරින් ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් වන්නේ තාක්ෂණය, බලශක්තිය හා පරිසරය යන ක්ෂේත්‍ර වල එකතුවක් යැයි තමාට හැඟෙන බවද ඔහු කියා සිටියේය.
එය ශ්‍රී ලංකාවට දිගු ක්‍රියාවලියක් වනු ඇති බව පැවසූ ඔහු, මෙම ක්‍රියාවලියට ඉඩ සැලසෙන පරිදි ලංකාවේ ජාතික ආර්ථිකයද සැලසුම් කළ යුතු බව අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා පවසා සිටියේ ආරක්ෂණවාදයට පිවිසෙන යුරෝපය මෙන් නොව චීනය විවෘත වෙමින් පවතින බව තමාට හැඟෙන බවයි.
චීනයේ මෙම ආර්ථික විවෘතභාවය සියලු දකුණු ආසියානු රටවල් වෙත දැවැන්ත අවස්ථාවක් උදා කරන බවත්, චීනය මෙන්ම දකුණු ආසියාවද විවෘත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“ආරක්ෂණවාදය ආර්ථික වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන්නේ නැත. චීනය දැනටමත් විවෘතව පවතින අතර එහි ආර්ථිකය ගෝලීය වෙළඳාම මත වර්ධනය වෙමින් පවතී. ඔවුන් සෑම තැනකම ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ විවෘතභාවයයි… දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
(වීඩියෝ : CGTN)
සබැඳි පුවත් :