තම රජයේ පත්වී ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඊයේ (08) සවස ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේය.
අස්වැසුම නොලැබෙන පිරිසට නැවත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් එමෙන්ම ආහාර මිල දී ගැනීමට පවා වත්කමක් නොමැති පවුල් සිටින්නේ නම්, එවැනි පිරිසට දේශපාලන මැදිහත්වීමකින් තොරව යම් දීමනාවක් කෙටි කාලයක් සඳහා ලබාදීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.
එමෙන්ම, ජනවාරි නව පාසල් වාරයේ සිට පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා දීමනාවක් ලබාදෙන බවද අනුර කුමාර දිසානයක මහතා මෙහිදි අවධාරණය කලේය.
“අපි දන්නවා ඊළඟ අලුත් පාසල් වාරය ආරම්භ කරන්නේ ජනවාරි අග. දෙසැම්බර් වල පාසල් ඉවර වුණාට. මේ අවුරුද්දේ පරණ වාරය නිමා වන්නේ ජනවාරිවලින්. ජනවාරි අග තමයි අලුත් පාසල් වාරය පටන්ගන්නේ. අන්න ඒ අලුත් පාසල් වාරයේ දරුවෝ පාසල් යන කොට නිසි පරිදි පාසල් පොත්, පාසල් උපකරණ මිලදී ගන්න බැරි සියලු දරුවන්ට ඒ සඳහා දීමනාවක් ලබාදෙනවා. ඒ වගේම අස්වැසුම..අපි ඔය නම් මාරුකරන්නේ නෑ. ජනසවිය තිබුණා තව කෙනෙක් ඇවිල්ලා සමෘද්ධිය කියනවා. තව කෙනෙක් ඇවිල්ලා දිවි නැගුම කියනවා. තව කෙනෙක් අස්වැසුම කියනවා. ඒවා නිකම් තමන්ගේ නම් අපිට කොයි නම කිව්වත් කමක් නෑ අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබාදීලා තියෙනවා අස්වැසුම නොලැබෙන අයට නැවත අභියාචනා කරන්න පුළුවන් ඒ අභියාචනා සාධාරණ ලෙස සලකා බලා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි ඒ සෑම පවුලකට ම අපි යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. හැමදාම දෙනවද? හැමදාම නෑ. මේ රට හදලා. ආර්ථිකය හදලා. ජනතාවට ප්‍රතිලාභ එනතෙක් ඒ ජනතාව අපි බලා ගන්නවා.”
රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජන කළා. මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණේ. එතැන කෝ හිටපු ජනාධිපතිතුමාගේ පඩි. දැන් කියනවා එතුමා… එතුමා වැඩි කළ පඩි දෙනකල් උද්ඝෝෂණය කරනවා ලු. මම හරි සතුටුයි හිටපු ජනාධිපති දකින්න පිටකොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පෝස්ටර් එකක් අතේ තියාගෙන ඉන්නවා. හොඳ නැද්ද ? එතුමා විසින් වැඩි කරන ලද පඩි ලබාදෙනු. තුමා කියනවා සටන් කරනවලු දෙනකන් ඔය සටන් නොවැම්බර් 14න් පස්සේ මුකුත් නෑ.”