Connect with us

පුවත්

අරගලයේදී ජනාධිපති මන්දිර මුදල් සිද්ධිය: ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා පෙත්සම විභාගයට අවසර දෙයි

Published

on

අරගලකරුවන් විසින් කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක් අරගලකරුවන් විසින් පොලිසියට භාරදීමේ සිද්ධියේදී සාපරාදී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබා දුන්නේය.

ඉකුත් වසරේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කලේය.

ඉන් අනතුරුව අදාල පෙත්සම ජුනි මස 12 වනදා විභාගයට ගැනීමටත් දින නියම කලේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2022 වසරේ ජූලි මස 09 වනදා කොටුව, ජනාධිපති මන්දිරය වැටලූ අරගලකරුවන් විසින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක් කොටුව පොලිසිය වෙත භාර දුන් බව සඳහන් කලේය.

ඉන් අනතුරුව කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කථා කළ එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම මුදල් අමාත්‍ය ටිරාන් අලස්ට භාරදෙන ලෙස දැනුම් දුන් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳව කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සටහන් යොදා තිබෙන බවත් කියා සිටියේය.

පොලිසිය භාරයට ගනු ලැබූ එම මුදල් අධිකරණයට ඉදිරිපත් නොකොට ටිරාන් අලස් අමාත්‍යවරයාට භාර දෙන ලෙස දැනුම් දීම තුළින් දේශබන්දු තෙන්නකෝන් සාපරාධී විශ්වාසය කඩකිරීමකට ආධාර අනුබල දීම නමැති වරද සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කලේය.

ඉන් අනතුරුව සාපරාධී විශ්වාසය කඩකිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් තම සේවාදායකයා දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කරමින් පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එහි සැකකරුට සිතාසි නිකුත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

ඊට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාල පුද්ගලික පැමිණිල්ල බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අභියාචනාධිකරණයේ එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි වන අතර එය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න සඳහන් කලේය.

ඉන් අනතුරුව වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය හරහා අපරාධමය වරදක් උද්ගත නොවන බව සඳහන් කලේය.

පොලිසිය විසින් භාරගත් අදාල මුදල් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත භාර දෙන ලෙස දැනුම් දීම තුළින් අපරාධමය වරදක් උද්ගත වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා අදාල මුදල් ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් පැවසීය.

ඒ අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ගොනුකර තිබෙන මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් වැඩිදුරත් සදහන් කරන ලදී.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කලේය.

පුවත්

පාතාල ලොක්කෙක් දරුවන් හා තරුණයන් එක්කරන් පාතාල හමුදාවක් හදලා

Published

on

By

කොළඹ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ව සිටින පලනි රිමෝෂන් නැමැත්තා විසින් වයස අවුරුදු 18 ට අඩු දරුවන් හා තරුණයන් සම්බන්ධ කරගනිමින් පාතාල හමුදාවක් නිර්මාණය කරගනිමින් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය 16 වැනිදා කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයකු හා එම පුද්ගලයාගේ ලොකු අම්මා වන 70 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු වූ 42 හැවිරිදි පුද්ගලයා ඉලක්කර ගෙන බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබිණි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මීට වසරකට පෙර ජින්තුපිටියේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවකු වන අතර ඔහු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුට නවාතැන් දුන් පුද්ගලයා බවද අනාවරණය වී ඇත.

එම පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් ආරම්භ කළ විමර්ශනවලට අනුව වෙඩික්කරු හා ආධාර අනුබල දුන් 17 සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු නීතිඥවරුන් මාර්ගයෙන් පෙරේදා කොටහේන පොලිසියට භාර වී තිබිණි. සැකකරුවන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

වෙඩි තැබූ බව කියන 17 හැවිරිදි තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් පලනි රිමෝෂන්ගේ වුවමනාවට වෙඩි තැබු බවය. පාතාල ලෝකයට පිවිසීමට ඇති ආසාව හේතුවෙන් තමා මෙම වෙඩි තැබීම සිදුකළ බවත් ඒ සඳහා මුදල් ලබානොගත් බවත් සැකකරු පවසා ඇත.

පලනි රිමෝෂන් බලවයස්කරුවන් අපරාධ ක්‍රියා සදහා යොදාගැනීමට කටයුතු කරන බවත් සැකකරු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එසේම මෙම සිද්ධියට අදාළව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 18 හැවිරිදි සැකකරු වෙඩික්කරු හා අනෙක් පිරිස දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කිරීම සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරවින්ද ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් හමුවී නැත.

සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

සෞඛ්‍ය ඇමැති ස්විට්සර්ලන්තයට!

Published

on

By

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.

මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළුව පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් ‍වන යෝජනා, අදහස් හා පර්යේෂණ  දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසරේ  ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය.

Continue Reading

පුවත්

පුංචි ඡන්දයේ අතිරේක නම් අද ගැසට්ටුවට

Published

on

By

 පළාත් පාලන ආයතන සඳහා අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද අද (19) දිනය දක්වා ලැබී තිබෙන සභිකයන්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට කටයුතු කරන බවත්, ප්‍රමාද වී ලැබෙන ලැයිස්තු පසුව ගැසට් කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී.

අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා ලද සභිකයන්ගේ ලේඛන කඩිනමින් දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණය අවසන් වීමත් සමග දැනුම්දීමට කටයුතු කර තිබිණි.

අතිරේක ලැයිස්තුවේ සභිකයන්ගේ නම් ලැබුණු පසුව ඒ ඒ පළාත් පාලන ආයතනයට තේරී පත්වූ සියලු සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරෙන බවත්, ඡන්ද විමසීමකින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ පසුව පමණක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ නිසා අදාළ අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා සභිකයන්ගේ නම් කඩිනමින් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved