Connect with us

පුවත්

ශ්‍රී ජයවර්ධපුර රෝහලේ පරිපාලන දුර්වලතා රැසක් කෝප් කමිටුවේ අවධානයට

Published

on

ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇති ගැටලු කිහිපයක්හ පසුගිය 06දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ‍රැස් වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමි‍ටුව) විසින් හඳුනාගන්නා ලදී.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධව විගණකාධිපතිතුමා විසින් මීට වසර 5 කට පෙර සිදු කරන ලද විගණනයකට අදාල තොරතුරු සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පදනම් කරගෙන කෝප් කමි‍ටුව ‍රැස් විය. එහිදී විගණකාධිපති තුමාගේ වාර්තාවේ සඳහන් වෙන සියලු කාරණා සාකච්ඡාවට බඳුන් විය..

විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර ආරෝග්‍යශාලා මණ්ඩල පනත, එහි දැක්ම, මෙහෙවර, අරමුණු, සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කර ඇති ආකාරය පිළිබඳව කරුණු සාකච්ඡාවට ගැනුණි. එසේම උක්ත පනතට අනුව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේදී රෝහල් කාර්යමණ්ඩල නියෝජනය කෙරෙන ආකාරයට පත් කිරීම් සිදු කිරීම පිළිබඳව ලැදියාවේ ගැ‍ටුමක් (conflict of interest) ඇත්දැයි සැලකිල්ලට ගෙන එවැන්නක් තිබේනම් එය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය විය.

විගණකාධිපතිතුමන් පෙන්වා දී ඇති කළමනාකරණ දුර්වලතා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. එහිදී දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව ප්‍රමාණවත් සැලැස්මක් නොමැති නිසාවෙන් සැලසුම් සම්බන්ධයෙන් බරපතල දුර්වලතාවයක් ඇති බවත් පසක් විය. ඒ අනුව මෙම ආයතනයේ දැක්ම අනුව වසර 2030 දී දකුණු ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරීමේ ඉලක්කයට ළඟා වීම සඳහා සුදුසු උපායමාර්ගික සැලසුම් මාස 2 ක් තුළ ඉදිරිපත් කිරීමට යෝජනා විය. එම සැලසුම් වලට මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදන කළමනාකරණය, අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන සැලස්ම, සහ විගණකාධිපති තුමා විසින් පෙන්වා දී තිබෙන පරිපාලන ගැටලු පෙන්වා දීම සඳහා කටයුතු කරන්නේ කෙසේද යන කාරණා ඇතුළත් විය යුතු බව සඳහන් කෙරුණි. එසේම සකස් කරන ලද සැලැස්ම කෝප් කමි‍ටුවට ඉදිරිපත් කිරීමටද නිර්දේශ කෙරුණි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල පරිශ්‍රයට අයත් ඉඩමේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන අනවසර පදිංචිකරුවන් සිටීනම් ඔවුන්ව ඉවත් කිරීම සඳහා ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

විගණකාධිපතිතුමාගේ විගණන වාර්තාවේ දැක්වෙන පරිදි, විවිධ උපදේශන සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් ගෙවා ඇති නමුදු සේවා නිම නොකළ ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ මුදල් නැවත අය කරගැනීම සඳහා පියවර ගැනීමට කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

කෝප් කමි‍ටුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලන ගැටලු විශාල සංඛ්‍යාවක් හඳුනා ගත්තේය. ඒවා සඳහා වන විසඳුම් සාකච්ඡාවට ගැනුණි. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කෝප් කමි‍ටුවෙන් අනු කමි‍ටුවක් පත් කිරීමට තීන්දු කෙරුණි. එම අනුකමි‍ටුව රෝහල් පරිශ්‍රයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සියලුම වැදගත් අංශ ආවරණය වෙන පරිදි විශේෂ විගණන වාර්තාවක් පිළියෙල කරන ලෙස විගණකාධිපතිතුමාට කෝප් කමි‍ටුව විසින් දැනුම් දෙන ලදී.

රෝහලේ සියලුම කාර්ය මණ්ඩල ඇතුළත් වෙන ලෙසට සහ එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා අනු කමි‍ටු කිහිපයක් පත් කර ඒවායේ සහය ලබා ගන්නා ලෙසට අධ්‍යක්ෂක මණ්ඩලය වෙත කෝප් කමි‍ටුවෙන් නිර්දේශ කෙරුණි.

2015 වර්ෂයේදී සර්වේ ජනරාල්වරයා විසින් රෝහලේ ඉඩම් ප්‍රමාණය මැනුම්ගතකොට තිබුණි. නමුත් එසේ තිබියදී පෞද්ගලික මිනුම්දෝරුවරයෙකු ලවා රෝහල් ඉඩම නැවත මිනුම්ගත කොට තිබුණි. එහිදී මිනුම්පතිවරයාගේ පිඹුර තිබියදී නැවත පෞද්ගලික මිනුම්දෝරුවරයෙක් ලවා මැනුම් කටයුතු සිදුකළේ කුමක් සඳහාද, ඒ සඳහා සම්බන්ධ වුණ නිලධාරීන් කවුරුන්ද යන්න නම් ගම් සහිතව සවිස්තරාත්මක වාර්තාවක් කෝප් කමි‍ටුවට ලබා දෙන ලෙස නීති නිලධාරිනියට කෝප් කමි‍ටුව විසින් නිර්දේශ කෙරුණි.

ස්නායු ශල්‍ය ඒකකය සඳහා රු මිලියන 4.2 ක් වියදම් කර මිලදී ගෙන තිබුණ ශල්‍ය ද්‍රව්‍ය වලින් 80% ක් කල් ඉකුත්වීමට වග කිව යුතු නිලධාරීන්ට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කෝප් කමි‍ටුව විසින් විමසා සිටියේය. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ කමි‍ටුවකින් සිදු කළ පර්යේෂණ වාර්තාව මීට දින කිහිපයකට පෙර රෝහලට ලැබුණ බව රෝහල් නිලධාරීන් පවසා සිටියහ. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කොප් කමි‍ටුවෙන් නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකර සති 2 ක් තුළ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටයි.

මෘදුකාංගයක් සඳහා රු මිලියන 1.8 ක් ද, ලේඛන ස්කෑන් කීරීම සහ අප්ලෝඩ් කිරීම සඳහා 2019 වර්ෂයේදී රු මිලියන 19.7 ක් ද වැය කර තිබීම සම්බන්ධයෙන් විගණන විමර්ෂණයට අදාලව පරීක්ෂණයක් සිදු කර සති 2 ක් තුළ එහි වාර්තාව කෝප් කමි‍ටුවට දන්වන ලෙසද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂකවරයා ඇතුළු කළමණාකාරීත්වයට නිර්දේශ කෙරුණි.

මාස 3 ක් ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට කෝප් කමි‍ටුව වෙත නැවත කැඳවීමට තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලන්සා, එස්.එම්.එම් මුෂාරෆ්, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නීතිඥ මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම විගණකාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

By

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

පසුව අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී ඔහු අතැතිව තිබූ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ

Published

on

By

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඒ මහතා වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved