Connect with us

පුවත්

ඉම්තියාස්ගෙන් සජිත්ට ලියුමක්

Published

on

නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් සමගි ජන බලවේග නායකයා සහ මහ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

නායකයන් නිර්මාණය කිරීමේදී පැරෂුට්කරුවන්ට ඉඩ නොදී ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළින්, ජාතික සංවිධානවලට ආ හැකි අයුරින්, ස්වභාවික නායකයන්ට මඟ පාදා දෙන ක්‍ර‍මවේදයක් හා බලාපොරොත්තු ඇති කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මන්ත්‍රීවරයා මෙමඟින් ඉල්ලා තිබුණි.

එමෙන්ම, පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සහ එය ප්‍රතිසංවිධානය කිරීම අවධාරණය කරන සාධනීය නිර්දේශ 12ක් ද එම ලිපියට ඇතුළත්ය.

එම ලිපියෙහි සඳහන් වූ නිර්දේශ පහතින්,

1.         පක්ෂය දරන්නාවූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන්, එක හඬකින් කතා කිරීමට පෙළගස්වා ගැන්ම. එවිටයි ඒ මතවාදය සාර්ථක ලෙසින් සමාජගත කළ හැකි වන්නේ.

2.         පක්ෂයක් ලෙස හැසිරීම මෙන්ම ඒ අනුව තීරණ තීන්දු ගැනීමේ අවශ්‍යතාව.

3.         හැකිතාක් දුරට පක්ෂයේ වගකීම් පැවරීමේදී සාමාජික එකඟතාව ලබා ගැන්ම සහ ප්‍ර‍ාථමික ඡන්ද පැවැත්වීම වැනි කරුණු තුළින් අභ්‍යන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පක්ෂය තුළ තහවුරු කිරීම.


4.         ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළින්, ජාතික සංවිධානවලට ආ හැකි අයුරින්, ස්වභාවික නායකයන්ට මඟ පාදා දෙන ක්‍ර‍මවේදයක් හා බලාපොරොත්තු ඇති කරන වැඩපිළිවෙළක් සකස් කිරීම. (පැරෂුට් වලින් එන අයට නොරැවැටීම සඳහා)

5.         පාර්ලිමේන්තු මන්ත්‍රි හමුවීම්, පක්ෂ සංවිධායක හමුවීම්, කළමනාකරණ කමිටු රැස්වීම්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් විධිමත් ලෙස, නිසි කාලවකවානුව තුළ පැවැත්වීම. (විධායක සභාව හා පක්ෂ සමුළුවද ඇතුළුව)

6.         දිස්ත්‍රික් සභාපති සහ දිස්ත්‍රික් සංවිධාන සඳහා නිශ්චිත වගකීම් සහ කාර්යභාරයන් පැවැරීම මෙන්ම ඒවා පිළිබඳව ඔවුන් සමඟ තෛ්‍රමාසික සමාලෝචනයන් පැවැත්වීම.

7.         නායකතුමන් සහ ප්‍ර‍ධාන නිලධාරීන් සමඟ පක්ෂයේ විවිධ අංශ භාර ප්‍ර‍ධාන නිලධාරීන් මෙන්ම, තරුණ, කාන්තා, ශිෂ්‍ය, වෘත්තීය සමිති ඇතුළු අනුබද්ධ සංවිධානවල වගකීම් භාර ප්‍ර‍ධානීන් ද ඒ කටයුතු ගැන නිශ්චිත කාලසටහනකට අනුව ප්‍ර‍ගති සමාලෝචන සාකච්ඡාවන් නොවරදවා පැවැත්වීම.

8.         සමාජ ජාලා වගකීම සහ පක්ෂය වෙනුවෙන් වෙනම ඒකකයක් නිර්මාණය කිරීම. ඡන්දයට පමණක් සීමාවූ මෙහෙයුම් සඳහා කොන්ත්‍රාත් ලබාදීම වෙනුවට, පක්ෂයේ වෙනම ඒකකයක් මේ සඳහා නිර්මාණය කරගැන්ම තුළින් ඒ හා බැඳුණු ක්‍රියාකාරිකයන්ගේ දම්වැලක් මඟින් විධිමත් සන්නිවේදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව.

9.         පක්ෂ මතවාදය මෙන්ම කාලීන කරුණු ගැන පක්ෂයේ පණිවුඩයන්, ක්‍රියාකාරිකයන්ට සහ මහජනතාවට යන අයුරින් මෙය සකස් කර ගැන්ම.

10.       වසර දෙක තුනකින් ප්‍ර‍ධාන මැතිවරණයක් එන විට ඒ සඳහා අලුතින් එක්වන තරුණ ඡන්දදායකයන් ඉලක්ක කරගෙන (වයස 15,16,17 පරපුර), දේශපාලන අවබෝධය ලබාදෙන වැඩපිළිවෙළක් (රන්ජන් විජේරත්න ඇකඩමිය මෙන්) මෙන්ම සංවාදාත්මක සන්නිවේදන වැඩපිළිවෙළකට හැකි ඉක්මනින් පියවර ගැන්ම.

11.       පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද සඳහා අපේක්ෂක තේරීම උදෙසා නිර්ණායක තීරණය කිරීම. මෙහිදී වෘත්තීමය සුදුසුකම් ඇති අයවලුන්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍ර‍ජා සංවිධානවල මූලිකයන්, සම්බන්ධ කරගැන්ම මෙන්ම අවම වශයෙන් සියයට 25 බැගින් හෝ තරුණ සහ කාන්තා නියෝජනත්වය ලබාදිය හැකි අයුරින් පක්ෂය සූදානම් කරගැන්ම. (මෙයට ඉහත ඡන්දවලදී අසාර්ථක වී ඇති අපේක්ෂකයන් නැවැත ඉදිරිපත් කිරීමේ කරුණ මතු වුවහොත්, එය සියයට 35ක ප්‍ර‍තිශතයකට වැනි ලෙසින්, ඒ සංඛ්‍යාව සීමා තැබීම.)

12.       පක්ෂයේ ආසන භාර සංවිධායකවරුන්ට සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයන්ට පක්ෂ නායකතුමන් සහ ප්‍ර‍ධාන නිලධාරීන්ව හමුවීම සඳහා නිශ්චිත කාල අවකාශයක් ලබාදීම.

සමඟි ජන බලවේගය පක්ෂයේ කිසිදු සමගියක් නැති බවත් එය ඒකාධිපති පාලනයට නතුව ඇති බවටත් හේතු දක්වමින් කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාද, පසුගියදා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබුණි.

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනයක්

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (07) දින සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට දින සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් හට යාල් දේවී දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය විය යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ව්‍යාපාරිකයන් 200 ක් ඇප රහිත ණය අරන්

Published

on

By

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබේ.

මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවූයේ පසුගිය මස 6 වැනිදා ය. මාසයක පමණ කාලයක දී මෙතරම් පිරිසකට ණය ලබාදීමට හැකිවීමෙන් ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටු වී තිබෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි වෙයි. ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි. ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇතැයි ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved