Connect with us

පුවත්

ජනතාවට සෙත සලසන විදුලි ව්‍යාපෘතියකට ඇමති සමන්තගෙන් බාධා

Published

on

බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ගොවිතැන් වල නිරත වන ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ දේශපාලන අධිකාරින් විසින් නවත්වා තිබේ.

අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති ලලාපිත් මානවඩු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊයේ දින (03) යොමුකර ඇති ලිපියක ඒබව සඳහන් වේ. 

රුපියල් කෝටි 12 ක වියදමින් විදුලිය සැපයීමට කණු සිටවූ රැහැන් මාර්ගය ඇමති සමන්ත විද්‍යාරත්න ගේ නියෝගයෙන් ගලවා ඉවත් කරන්න ගෙන ගොස් ඇතැයි එම ලිපියේ සඳහන් වේ. 

එම ලිපිය,

2024 පෙබරවාරි 3

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,
ජනාධිපති මන්දිරය
කොළඹ

උමා ඔයෙන් දියවර ලබන පළමු ගොවි ගම්මානය – “අන්නාසිගල”  විනාශ කරන්නට බලහරුවේ ප්‍රාදේශීය දේශපාලඥයන් රොද බඳියි, සාධාරණය ඉටුකර දෙන්න, ගොවීන්ගේ ආයාචනය

බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික් වල විදුලිය නොලද ගම්මාන අතලොස්සෙන් එකක් වනුයේ එම දිස්ත්‍රික්ක දෙකටම මායිම් වන අන්නාසිගල ගම්මානයයි. එය අළුත්වෙල, උමාඔය ජලාශයෙන් දියවර ලැබීමට නියමිත පළමු ගොවි ගම්මානයයි.  

දශක ගණනාවක් මුළුල්ලේ මේ ගම්මානයට විදුලිය, යටිතල පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලා තිබියදී අපේ රටේ පූර්වගාමී ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් දෙදෙනාගේ මැදිහත්වීමෙන් එම ගම්මානයට පැවැතී ගැටළු රාශියක් නිරාකරණය කරන ලද අතර රුපියල් මිලියන 90කට වැඩි සංඛ්‍යාවක් වැය කරමින් විදුලි බල මණ්ඩලය විසින් සම්බන්ධතා 180කට ආසන්න ප්‍රමාණයක් සහිතව තෙකලා විදුලි පහසුකම් ලබාදීමටද කටයුතු කරන ලදී. 

ව්‍යාපෘතියේ වැඩකටයුතු වලින් සියයට 85කට වැඩි ප්‍රමාණයක් අවසන්ව ඇති මේ අවස්ථාවේ රජය විසින් වැයකළ මිලියන 900 සම්පූර්ණයෙන්ම විනාශ කරමින් නැවතත් මෙහි දුක් කරදර විඳීන ගොවීන් විපතේ හෙළමින් මෙම වටිනා ව්‍යාපෘතිය ඌව පළාතේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් නතර කරන්නට වහාම නියෝග ලැබ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “ගම සමග පිළිසඳරක්” ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානය සම්බන්ධයෙන් රජයේ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලට අයත් රාජ්‍ය නිලධාරින් විසින් පූර්ණ අධයනයක් සිදු කරන ලදී. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාලන සමයේ හෙක්ටෙයාර් 1,400ක ඉඩම් රක්ෂිතයෙන් නිරවුල් කර ගොවීන්ට බෙදා දෙණු පිණිස ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට භාරදෙන ලදී. ඒ “රක්ෂිත වනාන්තර තුළ පිහිටී සංවර්ධිත ඉඩම්” යන පදනමෙහි පිහිටමිනි. 

මෙම විදුලි ව්‍යාපෘතිය බලගැන්වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

තත්ත්වය මෙලෙස තිබියදී මෙම ගමට ආසන්නයේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ අසත්‍ය ප්‍රකාශ මත පිහිටා මෙම ව්‍යාපෘතිය නතර කර ඇත්තේ අඩු තරමේ පවත්නා සැබෑ තත්ත්වය ගැන සමාලෝචනයක් හෝ නිරීක්ෂණයක් හෝ නොමැතිවය. මෙය නිසැකයෙන්ම ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කරන තත්ත්වයකි. 

මේ රටට ඉතා ඵළදායී කෘෂි ආර්ථිකයක් සාක්ෂාත් කරණූ පිණිස උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට ආසන්න මේ අවස්ථාවේදීද මීට ඉහතදී උමාඔය ව්‍යාපෘතියට සිදු කළ ආකාරයෙන්ම මේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරින් උමා ඔය ජලාශයෙන් සරුවන සිය ගණනක් ගොවිබිම් අතරේ එම ව්‍යාාපෘතියෙන් ජලය ලබන පලමූ ගොවි ගම්මානය “අන්නාසිගල ”  පාදක කරගනිමින් තවත් විශාල ගැටළුවක් නිර්මාණය කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් නොපමාව අවධානය යොමු කර අන්නාසිගල කෘෂි ව්‍යවසායකයන්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මෙම ව්‍යාපෘතිය නතර කිරීමට පාදක වූ චන්ද්‍රපාල කොඩිතුවක්කු යන අයගේ අසත්‍ය ප්‍රකාශ ඇතුළත් ලිපියේ පිටපතක්ද එහි සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සමන්ත විද්‍යාරත්න මහත්මාට අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපතිවරයා විසින් යවන ලද ලිපියේ පිටපතක්ද මේ සමග ඉදිරිපත් කරමි.

ලලාජිත් මානවඩු
සභාපති 
අන්නාසිගල ගොවි සංවිධානය

බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකට මායිම්ව ඌව පළාතේ විදුලිබලය නොමැති එකම ස්ථානය වන ‘සිංහලයාගම, උණකන්ද හා අන්නාසිගල’ ප්‍රදේශයට විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය  රු. මිලියන 120 ක වියදමින් ආරම්භ කර තිබේ.එලෙස ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ රු. කෝටි 9.5 ක වැඩ අවසන් කළ කොටස ගලවාගෙන යන ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගෙන් උපදෙස් ලැබී ඇති බව සඳහන් වේ.

දශක ගණනාවක් තිස්සේ මෙම ගම්මානයට විදුලිය ඇතුළු යටිතල පහසුකම් ලබා දෙන ලෙස දේශපාලන අධිකාරයෙන් ඉල්ලා තිබියෙදී, හිටපු ජනපති වරුන් වන ගෝඨාභය රාජපක්ෂ හා රනිලි වික්‍රමසිංහ මහත්වරුන්ගේ මැදිහත්වීම සහිතව විදුලිබල මණ්ඩලය විසින් විදුලි සම්බන්ධතා 180කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ. 

මුළු ව්‍යාපෘතියෙන් 90%කට වඩා අවසන්ව ඇති තත්ත්වයකදී එම කම්බි කණු, විදුලි රැහැන් ගලවා ගෙන යන ලෙස බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විදුලිබල මණ්ඩලයට හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved