Connect with us

පුවත්

තෛපොංගල් දින සුබපැතුම් පණිවිඩ

Published

on

“ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක මොහොතේ තෛයිපොංගල් සැමරීම සතුටක්  – ජනපති – 

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්,පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකාÓ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම්වල මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මේ ව්‍යාපෘතියේ සමෝධානිත බව ද එහි දැක්වේ. තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහිලා නවමු බලාපොරොත්තු අවදි කරන්නකි. රටේ ජනිත නව උද්‍යෝගයත් සමඟ Òලස්සන ජීවිතයකÓ බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යෑමට ශ්‍රී ලාංකේය අප සැමට අවස්ථාව උදා වී තිබේ. ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු යනුවෙන් ද එහි සඳහන් කර ඇත.

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකීම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසුනොබස්නා වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින්නෙමු. මෙරට ජනතාවගේ මුවේ සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. ඒ සුබාරම්භය සඳහා මේ තෛපොංගල් සැමරුම මහත් ආශීර්වාදයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයේ දක්වා තිබේ.

ආකල්පමය වෙනසක් සමඟ රට පුනරුද යුගයකට ගෙනයමු  –  අගමැතිනි

ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබෙන බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. එහි මෙසේ ද සඳහන් වේ.

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නකි. මූලික අවධියේ සිට අස්වනු නෙළීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරළා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණකි.

අපි සැවොම සොබාදහමේ නිර්මාණ වන්නෙමු.සොබාදහමට පිටුපා අපට යාහැකි ගමනක් නැත. එහෙයින් සොබාදහමින් අප ලැබූ ආශීර්වාදය වෙනුවෙන් නැවත කෘතගුණ සැලකීම ඉතා උතුම් මනුෂ්‍ය ගුණාංගයකි. රටක් වශයෙන් අප සුවිශේෂී සංධිස්ථානයකට එළඹ සිටිමු.ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබේ.

ආණ්ඩුව සහ රාජ්‍ය ලෙස අප ඒ බැරෑරුම් සහ වගකීම්සහගත ක්‍රියාවලියට පිවිස පරිවර්තනීය වෙනසක් කරා ගමන් කිරීම අරඹා ඇත්තෙමු. සොබාදහම අගය කිරීම, ගෞරවය දැක්වීම සහ අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක් ද වෙයි. ඔබ සැමට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා.! යැයි  මම සුබපැතුම් එක් කරමි.

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කරමු  – විපක්ෂ නායක

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් ‘කෘතගුණ සැලකීම’ ප්‍රගුණ කරමු යැයි තෛපොංගල් දිනට සුබ පැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් මඟින් ප්‍රකාශ කරයි.

කෘෂිකාර්මික ජීවන රටාවේ තමාගේ ආර්ථිකයට, ජීවිතයට සවියක් වූ අස්වැන්න සශ්‍රීක කිරීමට උපකාර කළ සූර්යයාට, සොබාදහමට මෙන්ම එයට උපකාරී වූ ගව මහීෂාදී සතුන්ටත් කෘතගුණ පළ කරන මේ උත්සවය අපට කියා දෙන මහා පාඩම වන‘කෘතගුණ සැලකීම’ යන්න වර්තමාන සමාජය විසින් අනාගතය වෙනුවෙන් නිවැරදිව සමාජගත කිරීම අපගේ වගකීම යැයි ද එහි දැක්වේ.

රටක ජනතාව වෙනුවෙන් වගකීම භාරගත් පාලක පක්ෂයට ජනතා වගකීම් ඉටු කිරීම යනු තමා වෙත එම බලය පැවරූ ජනතාවට පුද කරන කෘතවේදීත්වයක් සහ වගවීමක් ලෙස හඳුනා ගැනීමට ⁣තෛපොංගල් උත්සවයේ යටි පෙළ නිවැරදිව කියවා ගැනීමෙන් හැකියාව ලැබේ යනුවෙන් ද එහි දක්වා ඇත. බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘ භූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු‍ දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයක් සුරැකීමට හේතුවක් ද වනු ඇත. එබැවින් වසර දහසකට වඩා ඉතිහාසයකට දිවෙන තෛපොංගල් උලෙළ සමරන ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටකින් බව ද එම නිවේදනයේ දක්වා ඇත.

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved