Connect with us

පුවත්

අදානි ගිවිසුම ගැන අධිකරණ තීන්දුවක්

Published

on

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය.

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම කෙරුණි.

පුවත්

ඔබ ඡන්දය නොදැම්මොත් මහජන මුදල් අපතේ…

Published

on

By

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.

ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.

ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.

පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.

පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.

නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.

පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.

එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.

රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

ඡන්දය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.

ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.

මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.

පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්‍රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.

මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.

මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු

මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.

මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.

මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.

ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.

ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.

සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.

ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.

පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.

පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.

අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.

නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.

2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.

නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.

පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.

පරිපාලන හා නියාමන සේවා

මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.

මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.

  • මහ නගර සභා අඥා පනත (1947)
  • නගර සභා අඥා පනත (1939)
  • ප්‍රාදේශීය සභා පනත (1987)

මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.

පුංචි ආණ්ඩුවක බලය

ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.

 ✒️ සමන්ති වීරසේකර

– දිවයින – 

Continue Reading

පුවත්

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (UPDATE)

Published

on

By

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මාතර – 42%
  • මන්නාරම – 40%
  • ත්‍රිකුණාමලය – 36%
  • බදුල්ල – 36%
  • ගාල්ල – 35%
  • යාපනය 35%
  • පොළොන්නරුව – 34%
  • කෑගල්ල – 33%
  • මහනුරව 33%
  • අම්පාර  – 31%
  • රත්නපුර – 30%
  • පුත්තලම  – 30%
  • අනුරාධපුර 30%
  • කොළඹ – 28%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading

පුවත්

නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.

පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව මෙම නවකවධය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර විශ්වවිද්‍යාලවල නවකවධ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පොලීසියේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදීය.

නවකවධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති රාමුවක් ගෙන ඒම කෙරෙහි ද, එහිදී අවදානය යොමු වූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved