Connect with us

විශේෂාංග

පොඩි අතුල, රාවය සහ අයිවන්; දේශපාලන සන්නිවේදන ඇසකින් බැලූ විට..

Published

on

එකල අපගේ වීරයා වූයේ වික්ටර් අයිවන් නොව සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ දෙදෙනා ම විකල්ප පත්තර සංස්කාරකවරුන් වුවද වැඩ කළේ දේශපාලන චලනයන් දෙකක ය. මේ කියන්නේ, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය ගැන ය. (දේශපාලන කාටූන් ශිල්පියාගේ හොඳම කාලය රටේ නරකම කාලය කියා කියමනක් ඇත. ඒ ලෙසින්ම, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය, ලංකාවේ දේශපාලනයේ ලෝකඩමය යුගයක් විය) ඉතින්; විප්ලවය, ආදරය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංකේතය ‘සුනිල් අයියා’ මිසක වික්ටර් අයිවන් නොවීය.

කෙසේ වෙතත්, වික්ටර් අයිවන් යනු 71 පොඩි අතුල ය යන තොරතුර, අප ගැටවර මනසට එකල කුතූහලය දනවන්නක් වූයේය. “මිනිහා ඒ කාලෙ පක්ෂෙ නායකයෙක් ලු. බෝම්බ හදන්න ගිහින්ලු අත ආබාධිත වුණේ. සටනට බාධාවක් නම් තමා මරා දමන ලෙසත් ඔහු කීවේලු” යන පුවත විසින්, රාවයේ වික්ටර් අයිවන් කෙරෙහි නොව 71 පොඩි අතුල කෙරෙහි යම් ආදරයක් උපදවන ලදී. සන්නද්ධ අරගලය සම්බන්ධ යෞවන ප්‍රහර්ෂය තුල, ඒ දේශපාලන ප්‍රවාදයන්ගේ, වීරත්වය ගැබ්ව තිබිණි. අනෙක් අතට, සහෝදරයා යන ආමන්ත්‍රණය නැතත්, ‘මිනිහා’ යන යෙදුම තුල, එකී ගෞරවාදරය අයත් වන්නේ අතීතයට පමණ ය යන හැඟවුම ද විය.

‘ඇත්ත’ පත්තරයෙන් ඉස්මතු වූ මෙරට විකල්ප පුවත්පත් කලාව, ජනතා විමුක්ති පෙරමුණේ සේයාව මත යළි ගොඩ නැගෙන්නට පටන් ගත්තේ රාවය හරහා ය. ජවිපෙ අතීත නායකයකු වූ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් ප්‍රධාන සංස්කාරකත්වය දැරූ රාවය, (මිතුරු හෝ පසමිතුරු අර්ථයෙන්) ජවිපෙ සේයාව මත උපන්නේය. එය සඟරාවේ සිට පත්තරය දක්වා එන විට, (අත් අකුරින් නිමැවුණ) එහි ලෝගෝව පවා නියෝජනය කළේ ජවිපෙ ප්‍රචාරක සංස්කෘතිය මිස අන් යමක් නොවේ. එහෙත් එය කිසිදා ජවිපෙ ප්‍රකාශනයක් වූයේ නැත. යටිබිම්ගත ජවිපෙ කේඩරයට විටින් විට මඳක් ළං වී ඈත් වූවා පමණි.

අත්තනෝමතික ජේ ආර්ගෙන් අනුප්‍රාප්තිකව ප්‍රේමදාස පාලනයට විරුද්ධ ස්ථාවරයක රාවය සිටිය ද, ප්‍රේමදාස පරදවා (ජේ ආර් ආණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍යව සිටි) ලලිත් ඇතුලත්මුදලි පාලනයකට රාවය සූදානම් වෙමින් සිටියේ ය. එහෙත් එවකට පැවති ඝාතන සංස්කෘතිය විසින් රාවය අවසානයේදී ගෙනැවිත් නතර කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පය පාමුල ය. 94 අගෝස්තුවේ මැතිවරණය මුව විට වන විට, අත ඔසවා ආචාර කරන චන්ද්‍රිකා රාවයේ මුල් පිටුවටම පැමිණියාය.

රාජ්‍ය මර්දනය හේතු කොටගෙන ජවිපෙ පසුබැස ගිය වකවානුවේ වික්ටර් අයිවන් මාධ්‍ය භූමිකාව, ජවිපෙට එතරම් සතුරු නොවන විවේචනාත්මක ආස්ථානයක රැඳුණද, ජවිපෙ නැග ආ හැම මොහොතකම වික්ටර් අයිවන් ඊට විරුද්ධ ආස්ථානයක සිටියේය. ඔහුගේ ලේඛනවල, රූපිකව පවා ජවිපෙ උත්කර්ෂයට නොනැඟීය. නිදසුනක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණ හෝ ජවිපෙ යන නාමකරණය වෙනුවට වික්ටර් අයිවන් යොදාගත්තේ, ජවිපෙරමුණ යන පදයයි. ඒ පදය, දේශපාලන ව්‍යාපාරයේ පෞරුෂය විදහා නොදක්වයි. එවැනි දේ හරහා වික්ටර් අයිවන් අතිශය සවිඥානික ලෙස ජවිපෙට එරෙහිව භාෂාව යොදාගත් බව, ලියුම්කරුගේ නිරීක්ෂණයයි.

එජාප ශ්‍රීලනිප පක්ෂ දෙකට සෘජුව සහයෝගය නොදක්වන, ජවිපෙ විවේචනය කරන සියලු කොටස් රාවයේ සෙවන යටට එක යුගයක ගෙන එන්නට වික්ටර් අයිවන් සමත් විය. එතෙකින් නොනැවතී, ඉතා සියුම් ලෙස, ඒ පක්ෂ දෙක කරා, ඔවුන්ව, වරින් වර, ක්‍රමානුකූලව රැගෙන යන්නට ද වික්ටර් අයිවන් සමත් විය. ඊට අවශ්‍ය න්‍යායික හා මතවාදී පසුබිම වික්ටර් අයිවන් මනා ලෙස ගොඩ නැගුවේ ය. (ඒ මධ්‍යම පාන්තික ලේඛක පාඨක වළල්ල රාවයේ පැවැත්ම වෙනුවෙන් රාවයේ අවසානය දක්වාම රැඳී සිටියේ ය.)

ඒ ක්‍රියාදාමය මැද, සංශෝධනවාදී මාධ්‍ය අරගලයන් වෙත රාවය පෙරළිකාර ලෙස නායකත්වය දුන්නේ ය. එවකට එජාප ආණ්ඩුවේ ඒකාධිපතීත්වයට එරෙහිව රාවය පළමු පිටුවේ යෝධ අකුරින්, ‘කැතයි ලැජ්ජයි නින්දිතයි!’ යනුවෙන් සටහන් විය. අධිකරණ ස්වාධීනත්වයේ ඉරණම කියා පෑම උදෙසා, චන්ද්‍රිකා ආණ්ඩුවේ අග විනිසුරු පත් කිරීමේ ඡායාරූපය ඔළුවෙන් හිටෙව්වේ වික්ටර් අයිවන්ය. ඒවා, ශ්‍රී ලංකාවේ පත්තර කලාවේ දෘෂ්‍ය දේශපාලනයේ දැවැන්ත විරෝධතාවන්ය. අධිකරණ ස්වාධීනත්වය, ප්‍රභූ තන්ත්‍රයේ චෞරත්වය පිටු දැකීම ආදී කලාපවල, තමන්ගේම සීමාවන්ට යටත්ව වුව වික්ටර් අයිවන් මුළු වෙර යොදා පොර බැදුවේ ය. ඒ පොරබැදීම් විසින්, විකල්ප පත්තර කලාවේ මෙන්ම විකල්ප දේශපාලනයේ ද තීරණාත්මක මායිම් සලකුණු කරන ලදී. ඒවා ඉවත් කර ඉතිහාසය ලිවිය නොහේ. ජාතික හා විකල්ප යන පුවත්පත් ධාරා දෙකටම රාවය බලපෑවේය. විශේෂයෙන්ම කලා සංස්කෘතික විචාරයේදී රාවයේ භූමිකාව ප්‍රශස්ත එකකි. ජවිපෙ ආභාසය සහිත විකල්ප පත්තර කලාවද එයින් පෝෂණය නොවූයේ යැයි කිව නොහැකි ය.

කාලය ඉගිලෙයි. යුග වෙනස්කම් සිදු වෙයි. විකල්ප පත්තර, මාක්ස්වාදයේ එන අභාවයාගේ අභාවයට නිදසුනක් වී ඇත. නව මාධ්‍ය – සමාජ මාධ්‍ය පැමිණ ඇත. වික්ටර් අයිවන් විසින් සිය භාෂාවෙන් පවා පසුපසට ඇද දමනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ, නව ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගෙන ඇත. වික්ටර් අයිවන් යෝජනා කළ දේශපාලන බලවේග පරාජය වී තිබේ. එහෙත් මේ ජයග්‍රහණ පිටුපස ‘පොඩි අතුල’ලාගේ කැපකිරීම් ද ස්ථිරවම තිබේ. ඉතිහාසය, සියල්ලන්ට හිමි ගෞරවය නිසි මාත්‍රාවෙන් බෙදා දෙනු ඇත.

– විමල් කැටිපෙආරච්චි –

(පින්තූරය ලෙස ඇත්තේ, වික්ටර් අයිවන් මහතාගේ අභාවයට ශෝකය පළ කරමින් සංජය ඈපා සෙනෙවිරත්න සොයුරා අතින් නිමවූ අතිශය අධ්‍යාපනික සංකේතාත්මක නිර්මාණයයි)

ජීවිතයට යමක්

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය අද යි

Published

on

By

අද (අප්‍රේල් 21 ) ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යි.  (World Creativity and Innovation Day )

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය ගැටලු විසඳීමේ දී පුද්ගල හෝ සාමූහික වශයෙන් නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ලෝක සංවර්ධනයට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දිනය නම් කරන ලදී.

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය මුල්වරට 2018 වසරේ අප්‍රේල් මස 21 වන දින සැමරීම සිදුවිය.

නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වසරේ එක් දිනක් නම්කලද සැබවින්ම වසර පුරාම සෑම දිනකම වැදගත් වන දෙයක් ලෙස නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය හැඳින්විය හැකිය.

ස්කොට් ඇඩම්ස් විසින් මෙසේ පවසා ඇත.
“නිර්මාණශීලිත්වය යනු ඔබ විසින්ම ඔබට වැරදි කිරීමට ඉඩ දීමයි. කලාව යනු කුමන ඒවා තබා ගත යුතු දැයි දැන ගැනීමයි.”

මිනිසා ගල් යුගයේ සිට පරිණාමය වී අද දවස සහ ලෝකයේ මිනිසුන්ගේ හෙට දවස දක්වා ගමන් මගට නිර්මාණශීලීත්වය සහ හොඳ සහ නරක සියලු නවෝත්පාදනයන් ලෝකයේ අද දවස බිහිවීම සඳහා ඉවහල් වී ඇත.

Continue Reading

විශේෂාංග

“හයේෂිකා ද ලෙජන්ඩ්!”

Published

on

By

හයේෂිකා හම්බ කරන තරමවත්, හයේෂිකා වියදම් කරන තරමවත්, හයේෂිකා දාන සංදර්ශනවත් මට අදාලත් නෑ. මම අදාල කරගන්නෙත් නෑ. හැබැයි මෙන්න මේ සර්ටිෆිකේට් එකේ තියන හයේෂිකාගේ විස්මයජනක කොලිෆිකේශන්ස් ටික නං මට අනිවාර්යයෙන්ම අදාලයි සහ මම අනිවාර්යයෙන්ම අදාල කරගන්නවා.

මේ සර්ටිෆිකට් එකේ මට පේන හැටියට හයේෂිකාට තියනවා පහත සුදුසුකම්:

PhD in UK
PhD in USA
MA University of Kelaniya
BA University of Kelaniya

මෙන්න මේ සුදුසුකම් ලිස්ට් එක මාව ආකාර දෙකකින් පුදුමයට පත් කරනවා. මුලින්ම කියනවා නම්, අපිට තියන ඩිග්‍රියක් අපි ඔෆිෂියල් පේපර් එකක ලියනකොට ඒ ඩිග්‍රිය ලියන එක්තරා ක්‍රමයක් තියනවා. මේක ලෝකය විසින් සම්මත කරපු ස්ටෑන්ඩඩ් ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මනුස්සයෙක්ට ජීව විද්‍යාවෙන් ඩිග්‍රි තුනක් තියනවා කියලා. එතකොට ඒවා ලියවෙන්න ඕනේ මෙහෙමයි.

PhD in Biology
MSc. in Biology
BSc. in Biology

ඕනේම නම් අගට තමන් ඩිග්‍රිය ගත්තු යුනිවර්සිටිය සහ රට එකතු කරන්න පුලුවන්. හැබැයි මේ සර්ටිෆිකට් එකේ හැටියට හයේෂිකාට තියෙන්නේ UK සහ USA කියන ‘විෂයන්’ සම්බන්ධයෙන් PhDs දෙකක්!

අපි හිතමු හයේෂිකා මේ කියන්න උත්සාහ කරන්නේ එයාට එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් PhD දෙකක් තියනවා කියන එක කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියමු. හැබැයි එතනදිත් මම ගොඩක් පුදුම වෙනවා. බැචලර් එකක් මාස්ටර් එකක් වගේ නෙමෙයි, PhD එකක් ගත්තු මනුස්සයෙක් තමන්ගේ ටයිට්ල් එක පාවිච්චි කරන්නේ පුදුම පරිස්සමකින්. මේ ටයිටල් එක් ඉතාම නිවැරදිව පාවිච්චි කිරීමේ ලොකු වගකීමක් ආචාර්‍ය පදවියක් දරන කෙනෙක්ට තියනවා. මේ සටහන කියවන ඕනම ඩොක්ටරේට් හෝල්ඩර් කෙනෙක් මං මේ කියන කතාවට සීයට සීයක් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් මම වගේ එක PhD එකක් තියන මනුස්සයෙක්ටත් ටයිටල් එක නිවැරදිව භාවිතා කිරීමේ වගකීම බරින් දැනෙනවා නම්, හයේෂිකා වගේ PhD දෙකක් තියන මනුස්සයෙක්ට ඒ බර කොහොම දැනෙන්න ඕනද!

අන්න ඒ පලවෙනි පුදුමයත් එක්ක තමයි මට දැනෙන දෙවනි පුදුමය එන්නේ. හයේෂිකා ඔය කියලා තියන සුදුසුකම් ඇත්‍තටම හයේෂිකාට තියනවද? අවංකවම කල්පනා කරලා බැලුවොත් මිත්‍රවරුනි, බැචලර් එකයි, මාස්ටර් එකයි, පීඑච්ඩී දෙකයි උපයගන්න අවම තරමේ හයේෂිකාට අවුරුදු පහළවක්වත් යන්න ඕනේ. මම කියන්නේ නෑ ඒක වෙන්න බැරි දෙයක් කියලා. හැබැයි ඒක වෙන්න අමාරු දෙයක්. හයේෂිකා ඇත්තටම ඔය කියන ඩිග්‍රීස් ටික ඇචීව් කරගෙන තියනවා නම් ආයේ තර්කයක් නැතුවම කියතැහැකි “හයේෂිකා ද ලෙජන්ඩ්!” කියලා. හැබැයි හයේෂිකා මේ කියන හපන්කම ඇත්තටම කරලා නැති නම්…

ඊළඟට මට පේනවා හයේෂිකා හරිම ක්‍රියේටිව් ටයිටල් එකක් එයාගේ නම පිටිපස්සෙන් ඈඳාගෙන ඉන්නවා කියලා…

‘Hon Doctor Democratic Socialist Republic of Sri Lanka’

මං ලෝකේ රටවල් හතක ඇකඩමික් ෆීල්ඩ් එකේ වැඩ කරපු මනුස්සයෙක් විදිහට දිවුරලා කියන්නේ මිත්‍රවරුනි, මේ සම්මජ්ජාතියකට මං මෙහෙම ටයිටල් එකක් මගේ ඇහෙන් දැකලත් නෑ. කනෙන් අහලත් නෑ. හැබැයි ඉතින් හයේෂිකාට ඕන කරලා තියෙන්නේ තමන්ව ‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවනීය ආචාර්ය පට්ටමක් හිමි තැනැත්තියක්’ කියලා හඳුන්වන්න වෙන්න පුලුවන්. අන්න ඒක එහෙම නම් මිත්‍රවරුනි මට හයේෂිකා ගැන හේතු දෙකක් නිසා දුකයි. එක, හයේෂිකාට තියන සුලුපටු නොවෙන හීනමානය ගැන මට දුකයි. දෙක, ඕක ලියන්න ඕනේ ‘An Honarary/Honorable Doctor in Democratic Socialist Republic of Sri Lanka’ කියලා කියලදෙන්න පුලුවන් කවුරුත් හයේෂිකාට නැති එක ගැනත් දුකයි. හැබැයි හයේෂිකා මේ සර්ටිෆිකට් එකේ හීනමානෙන් හරි මොන මානෙන් හරි ලියලා තියන මේ අපබ්‍රංසේට කිසිම පදනමක් නැත්තම්… තව විදිහකට කියනවා නම්, මේ කියන විදිහේ ආචාර්‍ය පට්ටම් දෙකක් හෝ අඩුම තරමේ එකක්වත් හයේෂිකාට ඇත්තටම නැත්තම්…

… මට හයේෂිකාට මෙන්න මේ ටික ඉතාම අවධාරණයෙන් කියන්න ඕනේ.

Hayeshika Fernando

ඔයා මේ අපබ්‍රංස ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ගමින් ගමට සංගීත සංදර්ශන තියන්නවත්, ඇකඩමික් ෆෝරම්වල කතා පවත්තන්නවත්, ඡන්දෙ ඉල්ලන්නවත් නෙමෙයි. ඔයා මේ ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ඔයාගේ ක්ලාස්වලට (හෝ බිස්නස් එකට, whatever!) පුංචි දරුවෝ ආකර්ෂණය කරගන්න. තව තේරෙන සිංහලෙන් කිව්වොත්, ඔයාගේ මේ ටයිටල්ස් ටික ඩොම්බ පච නම්, ඔයා කරන්නේ මේ රටේ සමස්ත දරු පරපුරක් මහ දවල් රවට්ටන එක. හයේෂිකා ඔයා දන්නවාද දන්නෑ. හැබැයි දරුවොන්ට ලැබෙන්න ඕනේ මේ ලෝකේ හොඳම දේවල් විතරයි. හො-ඳ-ම දේ-ව-ල් වි-ත-ර-යි. මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ඒ බව දන්නවා ඇති කියලා සහ ඔයා ඒ බව බරින් ගන්නවා ඇති කියලා. යම් හෙයකින් ඔයා මේ කරන්නේ හොඳම දේවල් ලැබිය යුතු දරුවොන්ට හොඳම දේ ලබා දෙනවා කියලා අඟවමින් ඒගොල්ලන්ට හොඳම දේ ලබා නොදීම නම්, මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හෘද සාක්ෂිය ඔයාව හැම රෑකම ඇහැරවලා තියන්න ඕනේ කියලා.

මේ ලෝකයේ ඉවසිය යුතු ගොඩක් දේවල් තියනවා. හැබැයි හයේෂිකා, දරුවොන්ට මොන ආකාරයකින් හෝ ඩැමේජ් කිරීම කියන්නේ ඒවැයින් එකක් නෙමෙයි.

✍️

  මීට,

Dr. Amavi N. Silva
(PhD in Ocean and Earth Science, University of Southampton, United Kingdom)

උපුටා ගැනීම – Dr. Amavi N. Silva ගේ මුහුණු පොතෙනි

Continue Reading

විශේෂාංග

ලොවම කම්පා කල වසරේ ඡායාරුව

Published

on

By

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත.

කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් (Samar Abu Elouf) විසින් මෙම ඡායාරූපය ගෙන තිබේ.

මෙම ඡායාරූපයේ සිටින්නේ 9 හැවිරිදි මහමුද් අජ්ජෝර්ය.

බෝම්බ ප්‍රහාරයකින් පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබේ.

මෙම ඡායාරූප ශිල්පියා අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇත.

අබු එලූෆ් තමන් මෙම ඡායාරූපය ගැනීමේ දී දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම.

ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved