Connect with us

පුවත්

ආපදා නිසා අහිමිවන ජීවිත වෙනුවෙන් වන්දි මුදල රු.මිලියනයක් දක්වා ඉහළට

Published

on

ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අනුමැතිය ලැබුණු බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා පවසඉ.

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 127 ක පවුල් 5821 කට අයත් පුද්ගලයන් 19032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි. මේ වනවිට ඔවුන් ආපදා සහන මධ්‍යස්ථාන 17ක රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබා දීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී ඇත.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආරක්‍ෂක අමාත්‍යංශය යන ආයතන වල පූර්ණ අධීක්‍ෂණය යටතේ ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය හා අනෙකුත් සහන සේවා කණ්ඩායම් එක්ව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.

තවද එම ප්‍රදේශ වල වැව් හා වාරිමාර්ග බොහොමයක් තවමත් පිටාර මට්ටමේ ඇති බැවින් වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි අවදානම් සහිත වැව් බැමි ශක්තිමත් කිරීමේ කටයුතු ද සිදු කරනු ලබයි.
ජනාධිපතිතුමාගේ සහ රජයේ උපදෙස් පරිදි ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති අතර, අවතැන් වූ ජනතාව වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 1800ක් හා පවුල් වල සාමාජික සංඛ්‍යාව වැඩි වන අනුපිළිවෙලට රුපියල් 1800 සිට රුපියල් 2400, රුපියල් 2800, රුපියල් 3200 හා රුපියල් 3600 බැගින් වන පරිදි පිසූ ආහාර හෝ වියලි සලාක ලබාදීම සඳහා දෛනික ආහාර සලාක දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත. ආපදා හේතුවෙන් සිදු වන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට ද රජයේ අනුමැතිය හිමි වී ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුව මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරියේදී පහව යනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය. මෙම තත්ත්වය පිළිබඳ සිදුකල පුරෝකථන ඔස්සේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා සිදු කල දැනුවත් කිරීම් මගින් නායයෑම් අවදානම් හා ගංවතුර හේතුවෙන් සිදු වීමට තිබූ හානි අවම කර ගැනීමට හැකි වූ බව සඳහන් කල නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතනවලට සහ එම උපදෙස් වලට අනුගතව ක්‍රියා කල ජනතාවට සිය ස්තූතිය පුද කළේය.

අවදානමට පෙර සූදානම ඇති කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කෙරෙමින් පවතින බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන ඇතුළු ආපදා සහන කණ්ඩායම් වලට විශාල වගකීමක් පැවරී ඇති බවත්, රජයේ උපදෙස් හා නිවේදන වලට අනුගත වෙමින් සිදු විය හැකි හානි අවම කරගැනීමට සහාය වීමට ජනතාව තවදුරටත් කටයුතු කල යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක ලේකම්වරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved