Connect with us

පුවත්

උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ මහ බැංකු වාර්තාව පිළිබඳව  COPF   අවධානය

Published

on

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය.

මෙම වාර්තාව 2024 වර්ෂයේ දෙවන සහ තෙවන කාර්තු සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 23වනදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ (CBA) 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා නිශ්චිත ආන්තිකයකින් පවත්වාගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එය මහජනතාවට ද ලබා ගත හැකිය.

2023 ඔක්තෝම්බර් 03වැනිදා අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය 5% ලෙස දක්වා ඇති අතර මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ අවශ්‍යතාව මත උද්ධමන ඉලක්ක සඳහා වන ආන්තික ප්‍රතිශතාංක ± 2 ක් ලෙද දක්වා තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය, 2024 දෙවන සහ තුන්වන කාර්තු දෙකෙහි අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) නියම කර ඇති ආන්තිකයට වඩා පහළින් උද්ධමන ඉලක්කයෙන් බැහැර ව තිබුණි.
එය පිළිවෙලින් 1.4% ක් සහ 0.8% ක් ලෙස වාර්තා වී ඇති බැවින් ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ අවශ්‍ය වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් විසින් දීර්ඝව කරුණු පැහැදිලි කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විමසීම් ප්‍රශ්න සඳහාද පැහැදිලිකිරීම් සිදු කරන ලදි.

මේ අනුව උද්ධමන ඉලක්කයෙන් බැහැර වීමට හේතුවන ප්‍රධාන සාධක සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළ අතර විදුලි ගාස්තුව, දේශීය ඉන්ධන මිල, අහාර මිල, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය, බැංකු පොලී අනුපාතය, මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පෙන්වා දෙන ලදි. තවද ශ්‍රී ලංකාව 5% උද්දමන ඉලක්ක නිවැරදිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර මුදල් ප්‍රතිපත්තිය වඩාත් අවධානය යොමු කොට නිවැරදි තුළනයක් සහිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වාදෙන ලදි.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය (SME) වෙනුවෙන් සහන සැපයීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මහ බැංකුව විසින් සපයන ලද දත්ත මත පදනම්ව, ප්‍රතිව්‍යුහගත ණයවල රුපියල් මිලියන 25 ට අඩු හිඟ ප්‍රාග්ධනයක් ඇති ණය හිමියන්ගෙන් 99% කට බැංකු සමඟ නැවත සාකච්ඡා කර බේරුම්කරණ මාර්ගයකට එකඟ වීමට මාස 12 ක කාල දිගුවක් ලබා දීම සහ රුපියල් 25,000,000 ත් 50,000,000 ත් අතර ණය ලබාගත් ණය හිමියන්ට මාස 9 ක දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් සහ අනෙකුත් සියලුම ණය හිමියන් වෙනුවෙන් මාස 6 ක දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. එසේම රජය විසින් යෝජනා කර මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත සහන පැකේජයට ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය ලිහිල් කිරීම, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ප්‍රතිව්‍යුහගත කරන ලද ණය සඳහා අඩු පොලී අනුපාත ලබා දීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා විය.

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ සළකමින් මෙම සහන දීම සිදු කිරීම අපහසු බවයි. එසේම කලාපයේ පවතින අනෙකුත් රටවල් විසින් පවත්වාගෙන යන උද්දමන අනුපාතය සම්බන්ධයෙන්ද මෙහිදී
සාක්ච්ඡා විය.

තවද මෙවැනි සාකච්ඡාවක් කාර්තුවකට වරක් හෝ පැවැත්වීමේ වැදගත්කමද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන ලදි.

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම
මහත්මීහු සහභාගි වූහ. එසේම කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හශීම් සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගී වූහ.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved