Connect with us

පුවත්

කරන්නාගොඩගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

Published

on

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28) ඉවත් විය.

ඒ අනුව අදාළ පෙත්සම නව අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවීමට නියම කෙරිණ.එම විනිසුරු මඬුල්ල පිළිබඳ දැනුම්දීම සඳහා පෙත්සම ජනවාරි මස 31 වැනිදා කැඳවීමට තීරණය කරන ලදි.

මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, බී. ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ බව තීරණය කෙරිණි.

එහි දී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නිරාන් ඇන්කටෙල් මහතා පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම අවස්ථාවේ නොමැති බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.

විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මයාදුන්නේ කොරයා මහතා සඳහන් කළේ මෙම පෙත්සමට අදාළ මහාධිකරණ නඩුවේ දී විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියෝග කිහිපයක් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම් විභාගයෙන් ඒ මහතා ඉවත්වන බවය.

ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා නව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කළ යුතු බව විනිසුරු මායාදුන්නේ කොරයා මහතා සඳහන් කළේය. ඒ අනුව පෙත්සම වෙනත් දිනයක කැඳවීමට නියම කෙරිණ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනකු 2008 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන එම නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරන ලදී.

මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසද, අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි. තරුණයින් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් වසරේ ජුනි 25 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.

එවකට සිටි අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදි.

එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

මෙම පෙත්සමට මැදිහත්ව කරුණු ඉදිරිපත් කිරීමට අතුරුදහන්වූ දරුවන්ගේ මව්පියන් ඉදිරිපත් කළ මැදිහත් පාර්ශ්ව පෙත්සමකට මීට පෙර අධිකරණය අවසර දුන්නේය.

පුවත්

සබරගමු සරසවියේ 4ක් අත්අඩංගුවට

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

කළුතර සජබ මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි

Published

on

By

කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරගවදින අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර නාගොඩ ගම් සභා පාරේ ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Continue Reading

පුවත්

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින් මාළු සැකසූ තැනක් වටලයි (ඡායා)

Published

on

By

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03)  මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස “McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් වටලා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය (SLS 591) හා නිෂ්පාදන ආයතන නාමය වන “McOcean” යන නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බව අදාළ වැටලීමේදී අනාවරණය කරගෙන ඇත.

වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම, පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලීමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved