Connect with us

පුවත්

මාවෙයි සේනාධිරාජා අවසන් කටයුතු ඉරිදා

Published

on

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛයි සේනාධිරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා දින යාපනය, මාවිට්ටිපුරම් ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතය.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක සහ දේශපාලන කණ්ඩායම් නායකයාව සිටි මාවෛයි සේනාධිරාජා මහතා, නිවසේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 වන වියේ පසුවුණි.

1942 වසරේ ඔක්තෝබර් 27 වනදා යාපනය මාවිට්ටිපුරම් ප්‍රදේශයේදී උපත ලද මාවෙයි සේනාධිරාජා මහතා සිය මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවේ යාපනය නඩේශ්වරා විද්‍යාලයෙනි.

පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්ණ කළ ඒ මහතා 1966 වසරේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය.

1969 සිට 1983 දක්වා වූ කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු සිරගත වුණේ එවක යාපනයේ පැවති දේශපාලන ගැටුම්වලට සිදුකළ සෘජු මැදිහත්වීම් හේතුවෙනි.

30 වසරක සිවිල් යුද සමය පුරාම ක්‍රියාකාරී දේශපාලන නායකයෙකු ලෙස කටයුතු කළ සේනාධිරාජා මහතා රජයේ පාර්ශ්ව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා කරමින් ජනතාවගේ ගැටලු විසඳීමට සෘජුව මැදිහත් වුණි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2001 වසරේ මුල්වරට පාර්ලිමේන්තු වරම් දිනාගත් සේනාධිරාජා මහතා එතැන් සිට 2020 වසර දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙසද 2014 වසරේ මාවෙයි සේනාධිරාජා මහතා පත්වුණි.

එතැන් සිට 2014 වසර දක්වා වසර 10ක් එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු මියයන තුරුම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අනුශාසක සහ දේශපාලන කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් සේනාධිරාජා මහතා පසුගිය 28 වනදා නිවසේ ඇදවැටීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවුණි.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, එම අනතුරෙන් සේනාධිරාජා මහතාගේ හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුව තිබු බවය.

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved