Connect with us

පුවත්

ගබඩාවක දිරපු නොමිලේ බෙදන්න දුන් සහල්-රටඉඳි-පරිප්පු කිලෝ ලක්ෂ 15ක්

Published

on

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීමට 2023 වර්ෂයේ දී මෙරටට ලැබුණු සහල්, රටඉඳි සහ පරිප්පු කිලෝ ලක්ෂ 15ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව අනාවරණය වේ.

මෙම සිද්ධිය පිළිබඳ හෙළිවීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් ඉකුත් 31දා එම ගබඩාවේ කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය. වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවූ මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහි දී සඳහන් කළහ.

2023 වසරේ මෙම ගබඩාවට ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍යවලින් යම්කිසි ප්‍රමාණයක් ඒ ඒ අවස්ථාවන්හි දී පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දීමට පියවර ගෙන ඇතැයිද පාසල් නිවාඩු කාලය එළඹීමෙන් පසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම නැවතී ඇති බව ද මෙහි දී නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ.

මෙම ආහාර තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා දැනුවත් කිරීමට ද නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම පියවර ගත්හ. මෙහි දී දිස්ත්‍රික් ලේකම්වරයා රුවන් මාපලගම මන්ත්‍රීවරයාට දුරකථනයෙන් ප්‍රකාශ කළේ ‘රජය අසීරුතාවට පත්විය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පියවර නොගන්නා“ ලෙසයි. එමෙන්ම, මේ අවස්ථාවේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල්, පරිප්පු සහ රට ඉඳි කිලෝ මෙට්‍රික් ටොන් 1556ක් මේ වන විට ගබඩාවේ පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා හා මන්ත්‍රීවරයා ලේඛන පරීක්ෂා කිරීමේ දී අනාවරණය කරගනු ලැබීය.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

දිනමිණ

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved