සෙනොක් වින්ඩ් පවර් පුද්ගලික සමාගමට (Senok Wind Power Pvt Ltd) අයත් සුළං විදුලි උත්පාදන කුලුනක තටුවක් පසුගිය 02 වැනිදා පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කන්දකුලිය, කුරිඤංපිටිය ප්‍රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබිණි.
මෙම සුළං තටුව කඩාවැටෙන අවස්ථාවේ දී එම නිවාසවල කිසිවකු නොසිටි නිසා ජීවිත අනතුරුවලින් තොරවූ බව ප්‍රදේශවාසිහු කියති.
අදාළ සුළං කුලුනේ තට්ටුව කඩාවැටීමෙන් එක් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස දෙකකට සුළු හානි සිදුව ඇත.
කෙසේවුවද, මීට වසර 10 කට පමණ පෙර ස්ථාපිත කර ඇති මෙම සුළං උත්පාදක කුළුණ කිසිඳු නඩත්තුවක් හෝ අලුත්වැඩියාවක් සිදු නොකිරිම හේතුවෙන් ලවණ මිශ්‍ර සුළං නිසා දිරාපත්ව මෙසේ කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
අදාළ සමාගමට අයත් සුළං කුලුණු 05ක් එම ස්ථානයේ ඇති අතර ඉන් එක් සුළං විදුලි උත්පාදන කුලුනක උස, අඩි 270 කට අධික වන අතර එහි සවිකර ඇති තටුවක් අඩි 129 ක පමණ දිගකින් සමන්විත බව පැවසේ.
මීට පෙර අවස්ථා කිහිපයකදි කල්පිටිය ඉලන්තිඅඩිය, නොරොච්චෝල ආදි ප්‍රදේශවල ස්ථාපිත කර තිබු සුළං උත්පාදක කුලුණු ගිනි ගැනීම මෙන්ම ඒවායේ තටු කඩා වැටීම හේතුවෙන් ද අනතුරු කිහිපයක් වාර්තා වී තිබිණි.
සෙනොක් වින්ඩ් පවර් පුද්ගලික සමාගම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හා (United Nations Framework Convention on Climate Change (UNFCCC)) ලියාපදිංචි සමාගමක්වීම ද විශේෂිතය.
ඡායාරූප – Accident 1st